e-Con e-News

ජපානයේ දී ශ්‍රී ලාංකික කම්කරුවකු ඝාතනය කරයි?

Published (updated: ) in Uncategorized.

ජපානයේ දී ශ්‍රී ලාංකික කම්කරුවකු ඝාතනය කරයි?

ආර්ථික විද්‍යාව හැදෑරීමට පෙර ආර්ථික විද්‍යාඥයින් හදාරන්න!

e-Con e-News 08-14 August 2021

මේ ee  176 වන කලාපය යි – පෙර සෑම කලාපයක් මෙන්ම මේ කලාපය ද ශ්‍රී ලංකාවේ නූතන කාර්මීකරණය වෙනුවෙන් වෙන්කොට තිබේ.

ග්‍රාමීය හා නාගරික කම්කරුවන්ගේ නිපුණතා ඉහළ නංවමින් නවීන යන්ත්‍ර නිපදවීමේ නිෂ්පාදන වෙනුවෙන් අපගේ ධන සම්පත් සියල්ල ආයෝජනය කළ යුතු බව ස්වෛරීයත්වය ඉල්ලා සිටී.

  • ජපානයේ දී ශ්‍රී ලාංකීය කම්කරුවකු බල්ලෙකු සේ මරා දැමූ බව ඇයගේ පවුලේ අය පවසයි. කීඩාන්රන් වෙනුවෙන් ජපන් රජය සංක්‍රමණිකයින්ට එරෙහි නීතිය සම්මත වීම වළක්වන්නේද?  ee  ඒ පිළිබඳව විශ්මයට පත්වේ. පුවත්පත් වාර්තා කරන්නේ මතුපිටින් පමණි (බලන්න ee කම්කරුවන්). තම වීසා බලපත්‍රය කල්පැනීමේ වගකීම කම්කරුවා විසින්ම දැරිය යුතු බව තානාපති කාර්යාලවල සුද්දන් සමඟ විනෝද වීමට ආරාධනා ලබන ඇතැම් ජනමාධ්‍ය පවසයි. ඉතින් සත්‍ය කතාව කුමක්ද?

ජපානයේ කාර් සහ යන්ත්‍ර වැඩිපුර ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඇති පීඩනයට මේ සියල්ල සම්බන්ධ වන්නේ කෙසේද?

ජපානයේ සමාගම් වලින් 83% කට තව තවත් කම්කරුවන් අවශ්‍ය වී තිබේ. ජපානයේ  යකුසා! මාෆියාවට වඩා බලවත් ජපානයේ බලවත්ම කාර්මික බලපෑම් කණ්ඩායමවන කීඩාන්රන් තව තවත් සංක්‍රමණිකයන් ඉල්ලා සිටී. 1993 දී ජපානයේ සීමාවාසික වැඩසටහනක් මගින් පොරොන්දු වූ පරිදි සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවට ඔවුන්ගේ රටවලට ආපසු ගෙන යා හැකි නිපුනතාවයන් ඉගෙනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි පැවසුණි. 2018 වන විට සීමාවාසිකයින් 274,000 ක් සිටි නමුත් එක්සත් ජනපද රජය මෙම වැඩසටහන “ආගන්තුක කම්කරු වැඩ සටහනක්” බව හෙළි කරන ලදි. බොහෝ සීමාවාසිකයින්ව ‘තාක්‍ෂණික නිපුණතා ඉගෙනීම හෝ ඒවා වර්ධනය කරගැනීමට අවස්ථාවන් නොලැබෙන රැකියාවල ස්ථානගත කර තිබුණි. ‘ඇතැම් අය … බලහත්කාරයෙන් වැඩ ගැනීමේ තත්වයන් අත්විඳිමින් සිටී’. ඇත්ත වශයෙන්ම බලහත්කාරයෙන් වැඩ ගැනීම පිළිබඳව ලොව ප්‍රවීණයන්වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. (බලන්න ee විශේෂාංග)

  • 2021 වසර මුල් භාගයේදී ශ්‍රී ලාංකීය සංක්‍රමණික සේවකයින් ශ්‍රී ලංකා ආර්ථිකය වෙනුවෙන් රුපියල් බිලියන 660 ක් (ඩොලර් බිලියන 3.3 ක්) එවා තිබේ. ඉංග්‍රීසි සමාගමකට අයත් සිගරට් අලෙවි සමාගමක්වන ලංකා දුම්කොළ සමාගම ජුනි මාසයෙන් අවසන් වූ දෙවන කාර්තුවේ දී රුපියල් බිලියන 30 ක ආදායමක් ලබා තිබේ. ඖෂධ ආනයනය කරන සමාගමක් වූ හේමාස් සමාගම දෙවන කාර්තුවේ දී රුපියල් බිලියන 16.4 ක ආදායමක් ලබා තිබේ.
    ලංකාව තුළ සිටින සේවකයින් කොපමණ මුදල් ප්‍රමාණයක් ආර්ථිකයට යොමු කළාදැයි ඔවුන් අපට නොපවසයි. ‘ජාතික ආදායම’ ලෙස හැඳින්වෙන මෙම සංඛ්‍යාලේඛන මාධ්‍ය වාර්තා නොකරන්නේ ද? (බලන්න ee ව්‍යාපාර)
  • ජිනීවා හි දී කුට්ඨනයට ලක්වන ලිංගික ශ්‍රමිකයින් හා කම්කරුවන්:
    ජේ සී එල් ද සිස්මොණ්ඩි යනු ee  ප්‍රියතම ආර්ථික විද්‍යාඥයෙකි. 1815 දී ඉංග්‍රිසීන් විසින් මහනුවර ආක්‍රමණය කිරීමත් සමඟ ඔහුට ඇති සම්බන්ධය කුමක් ද? ජිනීවාහි ඔහුගේ නමින් වීදියක් ඇති බව දැන ගැනීමට ලැබීම ගැන අප පුදුමයට පත්වීම පිළිබඳව සිතා බලන්න. ඔබ අනුමාන කරන ආකාරයට ඔවුන් ඒ වීදියේ විකුණනු ඇත්තේ මොනවා ද? 

‘ජිනීවා හි පාකුයිස් දිස්ත්‍රික්කයේ කේන්ද්‍රෙය් පිහිටා ඇති රූ සිස්මොණ්ඩි වීදිය ගණිකා වෘත්තිය, මත්ද්‍රව්‍ය සහ අපරාධ කල්ලිවල හිංසනය සම්බන්ධයෙන් සුප්‍රසිද්ධය. එහි විශාල සංක්‍රමණික හා සරණාගත ජනගහනයක් සිටින අතර, එය ජිනීවා හි ‘ගෝලීය ගම්මානය’ යැයි ප්‍රකාශයට පත්කර තිබේ. ඔව්, ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමට නියමිත ‘ඓතිහාසික’ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මූලස්ථානයට දකුණින්.

ඉතින් සිස්මොණ්ඩි යනු කවුද, ee  ඔහු ගැන සඳහන් කරන්නේ ඇයි? එක් හේතුවක් නම්, අපේ කලාකරුවන්, දේශපාලනඥයින් ඔහුගේ ග්‍රහණයට හසුවී තිබීම හා ඇත්ත වශයෙන්ම ආර්ථිකය පාලනය කරන්නේ කවුරුන්දැයි පැවසීම ඔවුන් විසින් මඟහැරීමයි – ඔවුන්ගේ සමාගම්  හා මාධ්‍යය අනුග්‍රාහකයින් යුනිලීවර් විසින් පාලනය කරයි! මහරාජාගේ එම්ටීවී චැනලයේ ලංකාවට මුදල් එවන සංක්‍රමණික කම්කරු සුපිරි තාරකාව තේරීම නොකරන්නේ ඇයි?

  • බැංකු අති විශාල ලාභ ලැබීම් නිවේදනය කරන නමුත්, ඔවුන් සැබෑ කාර්මීකරණය සඳහා ආයෝජනය ප්‍රතික්ෂේප කරයි. සැබෑ කාර්මීකරණය යනු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හෝ ‘එකලස් කිරීම’ හෝ ‘නිෂ්පාදනය’ නොවේ.  අපේ ආර්ථික ස්වාධීනත්වයට එරෙහි සුදු රටවල්, මෙවර දැඩිව හා විවෘතවම අපේ දේශීය බැංකු අත්පත් කර ගනිමින් සිටී: ඇමරිකානු තානාපතිවරිය කුඩා හා මධ්‍ය පරිමාණ ‘ව්‍යවසායන්’ ප්‍රවර්‍ධනය කරමින් සිටී.  (ee මූල්‍ය)
  • ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුව හෝ නැතුව ශ්‍රී ලංකාව ආර්ථික විශ්ලේෂණයක් සහ සැලැස්මක් සහිතව ඉදිරියට යා යුතුයි’ යන සිරස්තලය යටතේ, අධිරාජ්‍යවාදී අරමුදල් සහිත බුද්ධි මණ්ඩලයක්වන වෙරිටේ රිසර්ච් කරුණු දක්වයි. නමුත් කොමියුනිස්ට් කුමන්ත්‍රණයක් යැයි කියමින් සැලසුම් කිරීම් වැළැක්වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවයි! සැලසුම් කිරීමට අවසර ඇත්තේ බහුජාතික සමාගම්වලට පමණි! අපගේ සැබෑ උනන්දුව නම් නවීන යාන්ත්‍රික කර්මාන්ත සඳහා ආයෝජනය කිරීමේ සැලැස්මකි. (ee ආර්ථික විද්‍යාඥයින්)
  • ලෝක බැංකුව පනවන ලද මිල ඉහළ දැමීමට එරෙහිව 1953 අගෝස්තු 12 හර්තාලයේ 68 වන සංවත්සරය සැමරීම මේ සතියේ දී සිදු විය. වාමාංශික පක්ෂ විසින් ආරම්භ කරන ලද හර්තාලයේදී එජාප කැබිනට් මණ්ඩලයට කොළඹ වරායේ තිබූ ඉංග්‍රීසි යුද නැවකට පලා යාමට සිදුවිය. දැන් සමහරුන් හර්තාල් 2.0 ඉල්ලා සිටින්නේ, රජයට එරෙහිව අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයක් ප්‍රවර්‍ධනය කිරීම සඳහා ය. මේ කොවිඩ් වසංගත අවස්ථාවේ දී කම්කරුවන් මිනිස් පලිහක් ලෙස භාවිතා කිරීමට ඔවුන්ට අවශ්‍ය ය. තවත් අය හර්තාලය 1956 ට මඟ පෑදූ ආකාරය සිහිපත් කරයි.
  • චීනයට එරෙහි එක්සත් ජනපද යුද බෙර වාදනය ‘චීනයේ නිෂ්පාදනය කරන ලදි -2025’ වැඩසටහන සමඟ සම්බන්ධ වේ. මෙම වැඩසටහන මඟින් චීනයට වඩාත්ම තාක්‍ෂණිකව සූක්ෂම අර්ධ සන්නායක යන්ත්‍ර සාදන යන්ත්‍ර නිපදවීමට සහ ශ්‍රමය අධිකව අවශ්‍යවන නිෂ්පාදන මත චීනයේ යැපීම අඩු කිරීමට හැකියාව ලැබේ. අපේ මාධ්‍ය පැහැදිලිවම එවැනි කාරණා පිළිබඳව නොදන්නා අතර සැපයුම් දාමයන් තුළ අපේ ‘කුලී’ තත්වය ප්‍රවර්‍ධනය කරමින් සිටී.

මේ නිසා, ee විසින් රතීන්ද්‍ර කුරුවිටගේ චීනයේ කාර්මික පක්ෂය පිළිබඳ ලිපිය නැවත පලකර තිබේ: ‘මෙම රචනයේ අරමුණ වන්නේ චීනයේ කාර්මික පක්ෂය ශ්‍රී ලාංකික පාඨකයින්ට හඳුන්වා දීම හැරුණු විට [පසුගිය] වසර 20 තුළ චීනය විසින් ක්‍රියාත්මක කර ඇති නමුත් චීනයේ ජීවත් වන ඉංග්‍රීසි කතා කරන මිතුරන් නොමැති බොහෝ අයට සැඟවුනු නව දේශපාලන හා ආර්ථික චින්තනය ගැන කතා කිරීමේ උත්සාහයකි. සමාජ මාධ්‍ය රජයේ ප්‍රතිපත්ති කෙරෙහි මහජන ප්‍රතිචාර මැනීමේ මෙවලමක් ලෙසත්, සමාජ මාධ්‍ය තුළ සිටින බ්ලොග් කරුවන් හා න්‍යායවේදීන් හඳුනා ගැනීමේ මෙවලමක් ලෙසත්, ලංකාව පවතින අගාධයෙන් ඉවතට ගැනීමේ අදහස ඇතිව සමාජ මාධ්‍ය භාවිතා කිරීමේ අවශ්‍යතාවයත් ඉස්මතු කිරීමට මට අවශ්‍යය. මිනිසුන් සංඛ්‍යා බවට පහළ හෙළමින්, මුල්  ශ්‍රී ලාංකීය නායකයින් විසින් ආරම්භකළ සියලුම කාර්මිකකරණ උත්සාහයන් අහිමි කරගනිමින් දශක 4 කටත් වැඩි කාලයක් තිස්සේ අපි ආර්ථිකය මූල්‍යකරණය කරමින් සිටින්නෙමු. සමහර විට අපත් අපේ ප්‍රමුඛ පෙලේ විශ්ව විද්‍යාලවල සිටින්නන් රට ඉදිරියට ගෙන යන තම න්‍යායන් ඉදිරිපත් කිරීමට උනන්දු කරවීම වඩාත් සුදුසුවනු ඇත.’ (බලන්න ee විශේෂාංග)   

  • කොවිඩ් ප්‍රහාරය ධනේශ්වර යුද්ධයක නවතම උපාය මාර්ගයයි. යටත් විජිත ආර්ථිකයක් පවත්වා ගෙන යන අතරම මිනිසුන් ආරක්ෂා කරමින් සමබරව කටයුතු කිරීමට රජයට සිදු වේ. රජය අපව නැවත අධිරාජ්‍යවාදීන් අතට පත් කිරීමට අකමැති නම්, නිෂ්පාදනය හා බෙදා හැරීම පාලනය කළ යුතුය. නිෂ්පාදන පාලනය කිරීම සඳහා බැංකු පාලනයත්, බැංකුවල ආයෝජනයන් මෙහෙයවීමත් අවශ්‍ය වේ. එසේ නොමැතිනම් බැංකු සහ ඒවායේ මාධ්‍ය හරහා එම උත්සාහයන් අඛණ්ඩව හෑල්ලුවට ලක් කරනු ඇත. (අහඹු සටන්, රුසියානු විප්ලවයේ පළමු ක්‍රියාව).
  • කථානායක කරූගේ බැටලු ලොම් බොරු කොන්ඩය! අධිරාජ්‍යවාදී රටවල ප්‍රවෘත්ති තුළ දී නැවත නැවතත් ඔවුන්ගේ ජාතික හා ජාත්‍යන්තර අවශ්‍යතා සමීපව අන්තර් ගත කරයි. ඉංග්‍රීසි රජු තම පාර්ලිමේන්තු කථානායකවරයාට බැටලු ලොම් ගෝනියක් මත හිඳ ගන්නා ලෙස නියෝග කළ අතර, විනිසුරුවන්ගේ හිසෙහි බැටලු ලොම් බොරු කොන්ඩයක් පැළඳ සිටින ලෙසත්, එමගින් බැටළුවන් ඇති කිරීම (සහ එසේ කිරීමට ඉඩම්වලින් මිනිසුන් ඉවත්කිරීම) සහ බැටලු ලොම් අපනයනය කිරීම මත නොව ඒවායින් වූල් රෙදි සෑදීම මත රාජධානියේ ධන සම්පත් සියල්ල රැඳී ඇති බවත් සිහියේ තබාගන්නා ලෙස අණ කළ බව ee සිහිපත් කිරීමට කැමතියි. (අහඹු සටහන්, අතුරු නීතිය)
  • යන්ත්‍ර සෑදීමේ යන්ත්‍ර, මාක්ස් සහ ස්ටාලින් ගැන ee  පසුගිය කලාපයේ සඳහන් කිරීම පිළිබඳව ee  දැඩි විවේචනයකට ලක් විය. අපි අමාරුවෙන් මෙවලමක් පාවා සාදාගන්නා අවස්ථාවක යන්ත්‍ර තැනීම ගැන සඳහන් කරන්නේ ඇයි? ඔවුන් විමසා තිබුණි. (පාඨක අදහස්) 
  • 2019 අප්‍රේල් ප්‍රහාරය පිටුපස එක්සත් ජනපද ‘හතරේ කල්ලිය’ (ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය ඇතුළුව චීනයට එරෙහිව එක්සත් ජනපදය නායකත්වය දෙන රටවල් 4 ක මිලිටරි සන්ධානය) සිටියාද? අපට ඔවුන්ව නම්කරන්න බැරි ඒ නිසා ද? එල්ටීටීඊ සංවිධානය පාකිස්තානය හා සම්බන්ධ කරමින් පවා අවුල් ඇතිකරවන ඉන්දියාවේ ප්‍රවෘත්ති වල තිබෙන කැලඹවීම් පිළිබඳව අවධානය යොමු කරන්න. (බලන්න ee ස්වෛරීත්වය)

A2. සතියේ උපුටා දැක්වීම්

  • ‘අපි සුද්දන්ගේ බලයට ආචාර කළ යුතු අතර, එන්නත ලබා නොගෙන මිය යා යුතු යැයි ඔවුන් පවසයි. ඇත්තෙන්ම බටහිර ප්‍රතිපත්තිය එයයි… ඒ බටහිර ආණ්ඩු සහ මාධ්‍ය වුවමනාවෙන්ම කරන තේරීමකි. සුද්දන්ගේ එන්නත් ඇත්තෙන්ම සුදුසු නැහැ (විශේෂයෙන්ම ඩෙල්ටාවට එරෙහිව). ඔබට දැන් ලැබෙන්නේ හොඳම එන්නතයි. මේ සරල පණිවුඩය පතුරුවනවා වෙනුවට, ඒ යක්ෂයින් භූදේශපාලනික වාසියට වැරදි තොරතුරු පතුරවමින් සිටී… කෝවිඩ් -19 භාවිතා කරමින් ඔවුන් තම සතුරන්ට පහර දෙමින් සිටින අතර, අප සියල්ලන්ම ඊට මැදි වූවන් හා ඒ අසළ සිටීම නිසා සිදුවන මරණ පමණි… මෙය මනුෂ්‍යත්වයට එරෙහිව අඛණ්ඩව සිදුවෙමින් පවතින අපරාධයකි … එන්නත් පිළිබඳව නොතිබූ දෙගිඩියාවක් පතුරවමින් තිබේ. බටහිර ඩ්‍රෝන යානා තරම්ම විනාශයක් ඔවුන් මේ බොරු හරහා සිදුකරයි… එම රටවල් ජාත්‍යන්තර සංචාර සඳහා සුදු ජාතික එන්නත් පමණක් නියම කර තිබේ. මෙය එන්නත වර්ණභේදවාදය යි.’ – indica.medium.com/the-west-attacked-my-people-with-anti-vax-propaganda-and-its-killing-us-1e6fd812403e (බලන්න ee ස්වෛරීයත්වය)
  • ‘ඉන්දු-පැසිෆික් කලාපයේ ගුවාම් වෙරළට ඔබ්බෙන් මලබාර් යුධ අභ්‍යාස සිදු කෙරෙමින් ඇති අතර, ඔස්ට්‍රේලියානු, ජපන් සහ ඉන්දියානු නායකයින් ඔක්තෝබර් මාසයේදී ඇමරිකානු ජනාධිපති බයිඩන් හමුවීමට නියමිත එක්සත් ජනපදයේ අපේක්‍ෂිත හතරේ කල්ලියේ සමුළුවට පෙර එම අභ්‍යාස පැවැත්වේ. (බලන්න ee ස්වෛරීයත්වය)
  • ‘මේ, බටහිර දැක්ම ශ්‍රී ලංකාව මත පැටවීම පිළිබඳ ප්‍රශ්නයක් නොවේ, මේවා ශ්‍රී ලංකාව විසින් ගෞරව කිරීමට හා තහවුරු කිරීමට පොරොන්දු වූ ජාත්‍යන්තර සම්මතයන් ය.’ – එක්සත් ජනපද තානාපති ටෙප්ලිට්ස් (බලන්න ee ස්වෛරීයත්වය)
  • ‘2015 දී යහපාලන රජය බලයට පත් වන විට ආර්ථිකය යහපත් මට්ටමකින් යුතුව දළ දේශීය නිෂ්පාදිත වර්ධනය 6% ක ස්ථාවර මට්ටමක පැවති අතර, දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතය ලෙස විදේශ ණය 75% ක් විය. අනෙකුත් සියලුම ආර්ථික පරාමිතීන් වාසිදායකව පැවතිනි. ආසියාවේ සංවර්‍ධන පරිමාණයෙන් චීනයට පමණක් දෙවෙනි තැනට ලංකාව සැලකුණි. 2019 වන විට සිවිල් යුද්ධයක හෝ වසංගතයක ආධාරයකින් තොරව දළ දේශීය නිෂ්පාදිතය 1%දක්වා පහත දැමීමටත් ණය අනුපාතය 95%දක්වා ඉහළ නැංවීමටත් යහපාලන සමත් වී තිබේ. එම වැරදි වලට වගකිව යුතු දේශපාලනඥයින් දැන් විපක්ෂයේ සිට ආණ්ඩුව පෙරළීමට උත්සාහ කරමින් සිටී.’ (ee ආර්ථිකය)
  • කෘෂිකර්මාන්තය සඳහා ඉහළ සුදුසුකම් ලත් ශාස්ත්‍රාලීන් සහ පර්යේෂකයින් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සිටී; ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල, පර්යේෂණ ආයතන සහ අනෙකුත් සංවිධානවල කෘෂි ආචාර්ය උපාධි ලැබූවන් 500 ක් පමණ සිටී. දැනට පොල් හෙක්ටයාර 400,000 කට වඩා තිබේ. සමස්ත කෘෂිකාර්මික නිෂ්පාදනවලින් 12% ක් පොල් වලින් ලැබේ. පොල් පර්යේෂණ ආයතනය, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් කර්මාන්ත අමාත්‍යාංශය වැනි ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තයේ බ්‍රාහ්මණයින්ට තම හැකියාවන් ප්‍රශස්ත තත්වයකට ගෙන ඒමට නොහැකි වී තිබේ. (ee කෘෂිකර්මය, පොල්)  
  • ‘ධීවර ක්ෂේත්‍රය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.3% ක් වන අතර, 2019 දී එහි වර්ධන වේගය 9.9 ක් ද 1.5% අපනයන ආදායමක් ද වාර්තා කරයි… මසුන් ඇල්ලීමේ සිට සැකසීම, බෙදා හැරීම, වෙළඳාම, බෝට්ටු තැනීම සහ නඩත්තු කිරීම දක්වා ඍජු හා වක්‍ර රැකියා ප්‍රභවයක්වන ධීවර කර්මාන්තය තුළ 583,000 ක් රැකියාවේ නියුතු වී සිටී. ආධාරක ශ්‍රම බලකාය තුළ මිලියන 2.7 ක් පමණ සිටී.  ශ්‍රී ලංකාවේ පරිභෝජනය කරන සියලුම සත්ව ප්‍රෝටීන් වලින් 60% කට වඩා ප්‍රමාණයක් වෙනුවෙන් මාළු දායක වන අතර අඩු ආදායම්ලාභී කණ්ඩායම් සඳහා ප්‍රධානම ප්‍රෝටීන් ප්‍රභවය ද එයයි… තෙල් නැව් 200- 300 ක් පමණ ප්‍රධාන වශයෙන් පර්සියානු බොක්ක සිට නැගෙනහිර ආසියාව දක්වා  අපගේ මුහුද හරහා දිනපතාම ගමන් කරයි.’ (ee කෘෂිකර්මාන්තය, ධීවර)
  • ‘තමන්ට ගෑස් බලාගාර අවශ්‍ය නැති බව කොළඹ අගරදගුරු පවසයි. හලාවත රදගුරුට ගල් අඟුරු බලාගාර අවශ්‍ය නැතැයි පවසයි. කෙසේ වෙතත්, ශුද්ධෝත්තමයාට සහ වතිකානුවට 45% ක් ගෑස් වලින්, 10% ගල් අඟුරු වලින් විදුලිය ලැබේ. පාප් වහන්සේට හොඳයි; ලංකාවට හොඳ නෑ.  අවසාන ප්‍රතිඵලය: බලශක්ති උත්පාදනය සඳහා වැඩිපුර තෙල් භාවිතා කිරීම, ලංකාවේ ශාපය. ඇත්ත වශයෙන්ම, තෙල් බලාගාර සඳහා එවැනි දිව්‍යමය මැදිහත් වීමක් සිදු නොවේ. ’ (ee කර්මාන්ත, පාප් වහන්සේ)
  • ‘ආරක්‍ෂාව ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින අතර, කාබුල්හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ඇතැම් පුද්ගලයින් ඉවත් කර ගැනීම සඳහා හමුදා භටයින් 3,000 යැවීමට ඇමරිකාව සැලසුම්කර තිබේ. රට හැර යන ඉංග්‍රීසි ජාතිකයින්ට සහය දැක්වීම සඳහා කෙටි කාලීනව 600 ක් පමණ භට පිරිස් යොදවන බව එංගලන්තය පවසා ඇති අතර කැනඩාව සිය තානාපති කාර්යාලය ඉවත්කර ගැනීම සඳහා විශේෂ බලකායන් යවා තිබේ.’ (ee ස්වෛරීත්වය, ඇෆ්ගනිස්ථානය)

_____________

A3. අහඹු සටහන් (ව්‍යාකූලත්වය තුළ සංඛ්‍යා දැකීම)_

  • සිංහල බෞද්ධ විරෝධය නව ඉවැන්ජලික ආගමයි. අලි ඇතුන් ‘කැලෑ’ සතුන් වන නිසා පෙරහැරේ අලි ඇතුන් යොදා ගැනීම කුරිරු බව සමහරුන් දරුවන්ට උගන්වයි. කෙසේ වෙතත්, මෙරට මහා වාරිමාර්ග පද්ධති ඉදි කර තිබෙන්නේ කම්කරුවන් සහ අලි ඇතුන් ය. අවම වශයෙන් ක්‍රි.පූ. 500 සිට අලි ඇතුන් යුධ පෙරමුණේ බර ඇදින්නන්, මිලිටරි ටැංකි සහ ඕනෑම බිමක ගමන් කළ හැකි හමර් වාහන වී තිබුණි ඔවුන්ව ‘කැලෑවට’ පන්නා දැමුවේ කවුද? දැන් විශාල සත්ව ප්‍රේමීන් යැයි කියා ගන්නා ඉංග්‍රීසි ජාතිකයින් අලි ඇතුන් ඝාතනය කිරීමේ ප්‍රධානම මිනීමරුවන් වේ. ඔවුන් තම වගා බිම් සඳහා කැලෑ කැපීමේ දී අලි ඇතුන් ජීවත් වූ කඳුකරයෙන් ඔවුන්ව පහතරටට එළවා දැමීය. අලි මැරීමට වඩා වැඩි වියදමකින් සාදන ලද ආනයනික සුඛෝපභෝගී භාණ්ඩ සහ වහල්භාවය පොඟවා ගත් වතුකරයේ නිෂ්පාදන මෙම දරුවන් භුක්ති විඳී. අලින්ට ලන්ඩනයට වීසා ලැබුණේ නම් නිසැකවම කිසිවෙකුත් ඉතිරි නොවනු ඇත. 
  • සුරාබදු දෙපාර්තමේන්තුවේ 2019 කාර්ය සාධන වාර්තාව (පලවූ දිනය නොදනී) සම්මත සංඛ්‍යාලේඛන වලින් බැහැර වී එහි වාර්ෂික වාර්තාව වෙනස්කර පහත සඳහන් දෑ ඉවත්කර තිබේ: 1. සමාගම් විසින් නිෂ්පාදනය කරන මත්පැන් ප්‍රමාණය 2. එක් එක් මත්පැන් වෙලඳපොල අංශය සපයන බදු ප්‍රමාණය 3. ආනයනය කරන ලද සහ අපනයනය කරන ලද මත්පැන් ප්‍රමාණය 4. බලපත්‍ර ලබා දී ඇති ප්‍රමාණය.

සුරාබදු දෙපාර්තමේන්තුව සැර මත්පැන් නිෂ්පාදකයින් 17 දෙනෙකුගෙන් සහ බියර් නිෂ්පාදකයින් 2 දෙනෙකුගෙන් බදු සහ අය බදු අය කරයි. මෑතක දී නිරීක්ෂණය කරන ලද පාර්ලිමේන්තු පරීක්ෂණ (COPA) අනුව, අත්‍යවශ්‍ය තනතුරකටවත් නීති නිලධාරියෙකු බඳවා ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව අසමත් වී තිබේ. කොවිඩ් -19 වසංගතයට පෙර දෙපාර්තමේන්තුව සාමාන්‍යයෙන් දිනකට මත්පැන් අලෙවියෙන් පමණක් රුපියල් මිලියන 600 ත් 700 ත් අතර ආදායමක් උපයා තිබේ.

මත්පැන් සහ වෙනත් බදු අයකළ හැකි භාණ්ඩ වලින් ලාභ ලැබුවත්, මෝටර් වාහන, සිගරට් සහ ඛනිජ තෙල් නිෂ්පාදන වලින් ලැබෙන ආදායම පහත වැටීම හේතුවෙන් බදු ආදායම 2020 මුල් මාස 4 තුළ වූ රුපියල් බිලියන 127.6 කට සාපේක්‍ෂව 2021 මුල් මාස 4 තුළ දී රුපියල් බිලියන 111.3 දක්වා පහත වැටී තිබේ. සුරාබදු බදු ආදායම සමස්ත බදු ආදායමෙන් 26% ක් සහ මුළු ආදායමෙන් 23.1% ක් වන අතර, 2021 මුල් මාස 4 තුළ දී එකතු කරන ලද වාර්ෂික ඇස්තමේන්තුවෙන් 23.4% ක් සාක්ෂාත් කරගෙන තිබේ.

  • සිස්මොණ්ඩි!: ‘ධනේශ්වර ආර්ථික විද්‍යාඥයින්ට එංගලන්තයේ 1815 සහ 1818-19 පළමු ආර්ථික අර්බුදවල බලපෑම තුළ ධනේශ්වර ක්‍රමයේ දිව්‍යමය ස්වභාවය පිළිබඳ පළමු බරපතල සැකය පහළ විය. සිස්මොණ්ඩි ධනේශ්වර ආර්ථික විද්‍යාවේ සෑම වේදනාකාරී ලකුණකටම ඇඟිල්ල දිගු කළේය: කුඩා ව්‍යවසාය විනාශවීම; රටෙන් ඈත් වීම; මධ්‍යම පාන්තික නිර්ධන පන්තිය; කම්කරුවන්ගේ දුප්පත්කම; යන්ත්‍ර මඟින් සේවකයා විතැන් කිරීම; විරැකියාව; ණය ක්‍රමයේ අන්තරායන්; සමාජ ප්‍රතිවිරෝධතා; පැවැත්මේ අනාරක්ෂිතභාවය; අර්බුද සහ අරාජිකත්වය. ඔහුගේ දැඩි, අවධාරණාත්මක සංශයවාදය, තෘප්තිමත් ශුභවාදී ආකල්පයකින් සුවිශේෂ මතභේදයක් ඇති කළේය. එංගලන්තයේ මැකලොච්ගේ සහ ප්‍රංශයේ සෙයිගේ ලාමක ආර්ථික විද්‍යාව තුළින් දේශනා කරන ලද සමගියට නමස්කාර කිරීම දෙරටේම විලාසිතාවක් බවට පත්වෙමින් තිබුණි. (රෝසා ලක්සම්බර්ග්, ප්‍රාග්ධනය සමුච්චය)

එසේ නම් ඔහුට ලංකාව සමඟ ඇති සම්බන්ධය කුමක්ද? විශේෂයෙන් ජාතිකවාදීන්, වාමාංශිකයින්, සමාජවාදීන්, අරාජිකවාදීන් යනාදීන් ලෙස තමන්ව හඳුන්වා ගන්නා අය අතර සිස්මොණ්ඩිගේ බොහෝ අදහස් මෙරට ඉතා බලවත් ය. හාස්‍යජනක කාරණය නම් බොහෝ ශ්‍රී ලාංකිකයන් සිස්මොණ්ඩි නොදන්නා නමුත්, ධනවාදයට එරෙහිව, කාර්මිකකරණයට එරෙහිව, කුඩා ගොවියා වෙත ආපසු යාමට ඔහුගේ ආදර ශුභාරංචිය පතුරුවා හැරීමයි.

ee  ඔහු සමඟ එකඟ නොවන නමුත් ඔහු ඉතාම වැදගත් ය. 1815 දී ධනවාදයේ පලමු කාර්මික අර්බුදය පෙන්වා දීමෙන් එංගලන්තයට ලංකාවම අල්ලා ගැනීමට සිදු වූයේ මන්දැයි ඔහු පෙන්නුම් කරයි. සිස්මොණ්ඩිගේ දේශපාලන ආර්ථිකයේ නව මූලධර්ම එකල සිටි බලවත් ආර්ථික විද්‍යාඥයින්ගේ ප්‍රතික්ෂේපයට ලක්විය, උදා. සේ සහ රිකාඩෝ. සිස්මොණ්ඩි මාක්ස්, ලෙනින් සහ ලක්සම්බර්ග් කෙරෙහි දැඩි බලපෑමක් ඇති කළේය. විශේෂයෙන්ම ලෙනින් ඔහුගේ ආර්ථික රොමෑන්තිකවාදයේ ලක්ෂණයක්: සිස්මොණ්ඩි සහ අපේ ස්වදේශික සිස්මොන්ඩිවරුන් (1897) නම් මහඟු කෘතියේ දී සාර්වාදයේ ප්‍රධාන විරුද්ධවාදීන් වන නරොද්නික්වරුන් (ජනතා මිතුරෝ) තුළ පවතින සිස්මොණ්ඩිගේ අදහස් වල අධිපතිභාවය පිළිබඳව අදහස් දක්වයි. ලෙනින්ගේ මෙම සම්භාව්‍යය කෘතිය ee බෙහෙවින් නිර්දේශ කරයි.

  • ප්‍රවෘත්ති කියැවීමට අපි අපව පුහුණුකර ගන්නේ කෙසේද? අධිරාජ්‍යවාදී තානාපති කාර්යාල විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යනාදිය ප්‍රවර්‍ධනය කරන විට, ඔවුන් එයින් ඇත්ත වශයෙන්ම කුමක් අදහස් කරන්නේ දැයි අසන්නේ කවුද? අමුද්‍රව්‍ය සකස් කිරීම සඳහා ඔවුන් අපට යන්ත්‍ර විකුණන අතරම, අපි ඔවුන්ට ප්‍රාථමික අමුද්‍රව්‍ය අඛණ්ඩව ලබා දෙනවාද? ‘නව නිපැයුම්’ (නැවත කිසි දිනෙක අසා නැති) ගැන ප්‍රශංසා කරන විට, ඒවායේ කොටස් නිපදවන කොටස් හා යන්ත්‍ර නිපදවන්නේ කෙසේදැයි අසන්නේ කවුද? ‘අපනයනය’ අගය කරන විට, අපනයනය සඳහා කොපමණ යෙදවුම් ආනයනය කළාදැයි විමසන්න? ‘ආධාර’ ලබා දෙන විට, ඒ සඳහා  ඔවුන්ගේ ක්‍රමවේද, තාක්‍ෂණයන්, ප්‍රවීණතාවයන් කොපමණ යොදවා ඇත්දැයි විමසන්න? යන්ත්‍ර හදන්නේ කවුද? කොටස් හදන්නේ කවුද? එම යන්ත්‍ර නිපදවන යන්ත්‍ර නිපදවන්නේ කවුද?  
  • අදහස් පැහැදිලිකර ගැනීම සඳහා, කියවන අයගේ අදහස් ee ඇත්තෙන්ම අගය කරයි. ee යනු කාර්මීකරණය පිළිබඳ කල් ගත වූ ජාතික සංවාදය ආරම්භ කිරීමේ රළු උත්සාහයකි. කාර්මිකකරණය නොසලකා හැරීම හෝ එය වැළැක්වීම වෙනුවෙන් මාධ්‍යයන්ට ගෙවනු ලැබේ. යටත්විජිත මාධ්‍යයේ ප්‍රධාන කර්තව්‍යය වන්නේ අපේ කාර්මීකරණයට එරෙහිව නිරන්තරයෙන් තර්ක ඉදිරිපත් කිරීම යැයි තර්ක කළ හැකිය. බොහෝ මිනිසුන්ට ‘අපි කම්මැලියි, අපට ලොකු වෙලඳ පොලක් නැහැ, ආර්ථිකය විශාල නැහැ’ යනාදි වශයෙන් ඒ සඳහා විරෝධය දැක්වීමට උගන්වා තිබේ. ඒ සත්‍ය නොවේ. මෙම තර්ක බොහොමයක් එස් බී ඩී ද සිල්වාගේ ඌණ සංවර්ධනයේ දේශපාලන ආර්ථිකය වැනි අධ්‍යයනයන් තුළින් තියුණුව ප්‍රතික්ෂේපකර තිබේ.

අනෙක් මාධ්‍ය උපක්‍රමය වන්නේ, කුඩා කර්මාන්ත, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, අපනයන, විදේශීය ආයෝජන යනාදිය අවධාරණය කරමින් සිටීමයි (ee ආර්ථික විද්‍යාඥයින් බලන්න). මෙම කාර්මීකරණ විරෝධී තර්ක ඉදිරිපත් කිරීම හා බෙදා හැරීම සඳහා ගෙවන ලද මාධ්‍ය කර්මාන්ත ශාලාවක් තිබිය යුතුය. ආනයන ආදිය ප්‍රවර්‍ධනය කිරීම සඳහා කැප වූ ඩොලර් බිලියන ගණනක් වූ මහජන සම්බන්ධතා/ දැන්වීම් කර්මාන්තය (යුනිලීවර් ආධිපත්‍යය දරන) බොහෝ විට එය විය හැකිය. අප සැබැවින්ම ස්වාධීන නම්, කාර්මීකරණයේ පදනම විය යුතු අපේ දේශීය වෙළෙඳපොළ ආනයන කරුවන් විසින් අල්ලාගෙන තිබේ. අනෙක් මාධ්‍ය ක්‍රීඩාව නම් වැරදි ලෙස නම් කිරීමයි: 

ව්‍යවසායකයා. කර්මාන්ත. ආයෝජන. ශ්‍රී ලංකාවේ මාධ්‍යවල භාවිතාවන සහ අපයෝජනයවන වචන. ව්‍යවසායකත්වය කුමක් සඳහා ද? කර්මාන්තය කුමක් සඳහා ද? ආයෝජනය  කුමක් සඳහා ද?

ඉතිහාසය උගන්වන පරිදි කිසිදු රටකට තම බැංකු පාලනය නොකර තම ලාභය නූතන නිෂ්පාදනය සඳහා ආයෝජනය  නොකර දියුණු විය නොහැකිය. කර්මාන්ත යනු හස්ත කර්මාන්ත, එකලස් කිරීම හෝ නිෂ්පාදනය පමණක් නොවේ. කර්මාන්ත යනු යන්ත්‍ර නිපදවන යන්ත්‍ර සෑදීමයි. ව්‍යවසායකත්වය යන්නෙන් අදහස් කරන්නේ අලුත් දෙයක්, නිෂ්පාදනයක් හෝ ක්‍රියාවලියක් සෑදීමයි. මෙහි ‘ව්‍යවසායකයින්’ ලෙස හැඳින්වෙන මිනිසුන් හුදෙක් පොලී ලාභයෙන් යැපෙන වත්කම් හිමිකරුවන් ය. ඔවුන් දේපල ආදිය සඳහා ආයෝජනය  කරයි. භාවිතා කරන ප්‍රධාන භාණ්ඩ සැම විටම ආනයනය කෙරෙන නිසා පහසුවෙන් මුදල් ඉපැයීම සාමාන්‍යයෙන් ආර්ථිකය දියුණු කිරීමට අසමත් වේ!

  • සාමාන්‍යයෙන් ආගමික හා සදාචාරාත්මක වාග් මාලාව උපයෝගී කරගනිමින් මිනිසුන් කුමක් ඇඳිය යුතු දැයි සුඛෝපභෝගී භාණ්ඩ පිළිබඳ නීති මගින් නියම කළ අතර, ධනවත් පංතිවල නාස්තිය සහ විදේශීය සැපයුම්කරුවන්ට ප්‍රාග්ධන සංචිත ගලා යෑම වැළැක්වීම අරමුණු කරගත් සමාජ හා ආර්ථික ප්‍රමුඛතාවන්ගෙන් මෙම නීති ආභාසය ලබා තිබේ.

මධ්‍යතන යුගයේ එංගලන්ත ආර්ථිකයට ලොම් වෙළඳාමේ ඇති වැදගත්කමෙහි කේන්ද්‍රීයභාවය සංකේතවත් කිරීම සඳහා 14 වන ශතවර්ෂයේ III වන එඩ්වඩ් රජු (1327-77) මේ වන විටත් ‘ද වූල් සැක්’ ලෙස හැඳින්වෙන ලොම් මිටියක වාඩි වන ලෙස පාර්ලිමේන්තුවේ කතානායක චාන්සලර් සාමිවරයාට (පසුව කථානායකවරයා සහ අධිකරණයේ ප්‍රධානීන්ගේ හිස මත ඇති ලොම් බොරු කොණ්ඩය භාවිතා කරන ලෙස) නියෝග කළේය. 1346 දී ක්‍රොසි සටනේ දී ඉංග්‍රීසි ජාතිකයින් ප්‍රංශ ජාතිකයින් හා මහද්වීපික යුරෝපයේ ඉංග්‍රීසීන්ගේ තීරණාත්මක ලොම් වෙළඳ මාර්ග ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සටන් වැදුනි.  

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කර්මාන්ත විනාශ කරමින් 18 වන සියවසේ දී, ඉංග්‍රීසීන් ඉන්දියාවේ ඇඳුම් ඇඳීම තහනම් කිරීමට නීති සම්මත කරන ලදී.

  • 1917 විප්ලවයෙන් පසු බොල්ෂෙවිකයින් පෙට්‍රොග්‍රෑඩ්හි රාජ්‍ය බැංකුව අල්ලාගෙන එහි පාලනය සියතට ගන්නා ලදී. දෙසැම්බර් මාසයේ දී ඔවුන් බැංකුකරණය පිළිබඳ රාජ්‍ය ඒකාධිකාරයක් ප්‍රකාශයට පත් කරන ලදී. බැංකු සුරක්ෂිතාගාර පරීක්‍ෂා කර රත්රන් හා කාසි රාජ්‍ය සන්තකකර ඒවා ජාතික රන් අරමුදලට මාරු කරන ලදී. ඔවුන් රුසියානු රජයේ ණය අවලංගු කළ අතර කලින් පැවති පෞද්ගලික බැංකුවල කොටස් ප්‍රාග්ධනය රාජ්‍ය සන්තක කරන ලදී.

රුසියානු සෝවියට් සමූහාණ්ඩුවේ මහජන බැංකුව (PB) පිහිටුවනු ලැබුවේ ප්‍රධාන වශයෙන් මුදල් නෝට්ටු නිකුත් කිරීම සහ බෙදා හැරීම සඳහා වන මහජන මුදල් කොමසාරිස් කාර්යාලයේ කොටසක් ලෙසින් රාජ්‍ය බැංකු පරිශ්‍රයේ ය. සෝවියට් ආයතන සහ සංවිධානවලට තම මුදල් සහ වටිනා දේවල් මහජන බැංකුවේ හෝ රාජ්‍ය භාණ්ඩාගාරයේ තැබීමට සිදු විය. භාණ්ඩාගාරය මහජන බැංකු ආයතන සමඟ ඒකාබද්ධ කරන ලදී. මහජන බැංකුවේ කාර්යයන් කම්කරුවන්ගේ, ගොවීන්ගේ සහ රතු හමුදා නියෝජිතයින්ගේ සෝවියට් සංගමයේ විධායක කමිටුවේ මූල්‍ය ඒකක වෙත පැවරී තිබේ. ඉන්පසුව කර්මාන්ත, කෘෂිකර්මාන්තය හා වෙළඳ පිරිවැටුමේ දියුණුව සඳහා ණය හා අනෙකුත් බැංකු ගණුදෙනු සහ අනෙකුත් මුදල් ගනුදෙනු සඳහා භාවිතා කිරීමට සහ නිසි මුදල් සංසරණය ස්ථාපිත කිරීමේ දී මුදල් පිරිවැටුම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා ණය සහ වෙනත් බැංකු ගනුදෙනු භාවිතා කිරීමට RSFSR රාජ්‍ය බැංකුව මහජන මුදල් කොමිෂන් සභාව තුළ ස්ථාපිත කරන ලදී.

____________

B. විශේෂාංග

_______________

B1. 1956 හේතු වූ 1953 හර්තාලය 

1953 අගෝස්තු 12වන දින තරුණ හා මහලු, පිරිමි හා ගැහැණු 100,000 ක් දෙනා සම්බන්ධකර ගනිමින් සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ ෆෙඩරල් පක්ෂය විසින් මෙහෙයවනු ලැබූ එක් දින හර්තාලය හේතුවෙන් හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට පෙර ඉංග්‍රීසි යුද නැවකට පසු බසින්නට එක්සත් ජාතික පක්ෂ කැබිනට් මණ්ඩලයට සිදුවිය. ‘නිදහසින්’ පසු ඉදිරි දශක දෙක තුළ දිවයින පුරා අනාගත ක්‍රියාකාරීන් දහස් ගණනක් දිරිමත් කළ දිනයක් වූ මෙම පළමු සංවිධිත මහජන විරෝධතාවය තුළ පොලිසිය විසින් මිනිසුන් කිහිප දෙනෙකු ඝාතනය කරන ලදී.

1952 දී, කොළඹ ක්‍රීඩා සමාජය අසළ ගෝල් ෆේස් පිටියේ දී ඩී එස් සේනානායක ඔහුගේ ඉංග්‍රීසි අශ්වයාමතින් වැටී මරණයට පත්විය. එය ප්‍රභූන්ගේ හා ලංකා හාම්පුතුන්ගේ සංගමයේ ප්‍රියතම ප්‍රදේශයකි. ඊළඟ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායකව ඩී එස් තෝරා ගත් බව ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රකාශ කළේය. එය මාක්ස්වාදියෙකුට ඡන්දය දීම ‘මාරාන්තික පාපයක්’! යැයි ස්ථාපිත පල්ලිය විසින් ප්‍රකාශයට පත්කළ මැතිවරණයක් විය.

ඉන්පසු ආර්ථිකය නරක අතට හැරුණි. ලංකාව සුදු ජාතික යුද යන්ත්‍රයට රබර් අලෙවි කළ කොරියාවට එරෙහි ඇමරිකානු යුද්ධය නිමවීම ‘අපනයන උත්පාතය’ අවසන් වීමට හේතු විය. තේ සහ රබර් සඳහා සාධාරණ මිලක් ගෙවීම අධිරාජ්‍යවාදී බලවතුන් විශේෂයෙන්ම එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා වෙළෙඳ කොන්දේසි වඩාත් අහිතකර ලෙස වර්ධනය විය. ලෝක බැංකුව දැඩි නිර්ණායක පැනවීමට පෙර මැතිවරණයක් ඉල්ලන ලෙස සුදු ජාතික ඇමරිකානු මහ බැංකු අධිපතිවරයා අගමැතිවරයාට උපදෙස් දුන්නේය.

සහල් මිල වැඩි කරන ලෙස රජයට බලපෑම් කිරීමට ‘හිඟය’ හේතු විය. ශ්‍රී ලංකාවේ පළමු ලෝක බැංකු දූත මෙහෙවර ඉල්ලා සිටි පරිදි මුදල් ඇමති ජේ ආර් ජයවර්ධනට සහල් මිල ශත 25 සිට ශත 72 දක්වා වැඩි කිරීමට සිදුවිය. 1952 මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂය කියා සිටියේ සහල් මිල කිසි විටෙකත් ශත 25 ට වඩා වැඩි නොකරන බවයි – ඔවුන්ගේ සියරට පුවත්පතේ සිරස්තලය. නමුත් 1953 අයවැයේදී ජේ ආර් සහල් මිල ශත 70 දක්වා ඉහළ නැංවීය. තැපැල් ගාස්තු ද වැඩි කරන ලද අතර පාසැල් දරුවන්ගේ දිවා ආහාරය වූ බනිස් ගෙඩිය ද උදුරා ගන්නා ලදී. සහල් සලාකය 1/4 කින් කප්පාදුකිරීමට සහ පිටි මිල ශත 15 කින් ඉහළ දැමීමට එරෙහිව ඇති වූ ජාතික විරෝධතාවයට එක්වෙමින් අත්සන් දහස් ගණනක් එකතු කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාමාංශය විසින් මිල ඉහළ දැමීමට එරෙහිව උද්ඝෝෂණය කරන ලදී.

සහල් හිඟය විසඳීම සඳහා මහජන චීන සමූහාණ්ඩුව සමඟ රබර් සහල් ගිවිසුම වෙනුවෙන් නැගී ආ හඬට ශ්‍රී ලංකාවේ ඇමරිකාව වෙනුවෙන් පෙනී සිටින්නන් විරුද්ධ විය. ඇමරිකාව වෙනුවෙන් පෙනී සිටින්නන් මෙහෙයවනු ලැබුවේ ජේ ආර් ජයවර්ධන විසින්වන අතර, ඒ නිසා ඔහුට යැංකි ඩිකී යන අන්වර්ථ නාමය ලැබුණි. (රජය ඇති කරගත් ගිවිසුමේ එජාප යෝජකයාවන ආර් ජී සේනානායක, චයිනා ඩිකී ලෙස නම් කරන ලද අතර, එවකටත් ඇමරිකානු රජය චීන භීතිකාවට අරමුදල් සැපයීය)

1953 අගෝස්තු 12 හර්තාලයට හේතු වූ පාර්ලිමේන්තුවෙන් පිටත දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය ගොඩ නැගීමට වාමාංශය අත්සන් දහස් ගණන් එකතු කළේය. 1945 සහ 1953 අතර කාලය තුළ දේශපාලන තුලනය සුළු වශයෙන් වෙනස් වූ අතර වෘත්තීය සමිති සාමාජිකත්වය දෙගුණයක් විය. 1953 දී රටේ ජනගහනය මිලියන 8 ක් වූ අතර, වසර 10 කට ආසන්න කාලයක් පැවති ප්‍රාථමික පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා වූ නිදහස් අධ්‍යාපනයන නිසා අවුරුදු 5 ට වැඩි අයගෙන් 65% ක් මේ වනවිට ‘සාක්ෂරතාවයෙන් යුතු යැයි’ සළකන ලදී.

හර්තාලය (හින්දි වචනයක්) යනු මහා වැඩ වර්ජනයකට වඩා වෙනස්ව සියලුම වැඩ විශාල වශයෙන් එක් දිනයක් සඳහා නැවැත්වීමක් වූ අතර ඒ සඳහා කුඩා ව්‍යාපාර මෙන්ම විශාල ව්‍යාපාරවල සහයෝගය ද ඇතුළත් වූ සියලු ව්‍යාපාර නැවැත්වීම සම්බන්ධ විය. හර්තාලයකට සහය දැක්වීමට තරම් ලංකාවේ බොහෝ සාප්පු හිමියන් සිටියේ නැත – එබැවින් එය මූලික වශයෙන් වර්ජනයක් බවට පත් විය.

ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය හා ෆෙඩරල් පක්ෂය විසින් හර්තාලය කැඳවනු ලැබීය. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ බලපෑම් මත ලංකා කම්කරු කොංග්‍රසය හර්තාලයෙන් ඉවත්ව සිටියේය. SWRD බණ්ඩාරනායක විපක්ෂයට සහයෝගය දුන් නමුත් සැබෑ මහජන ක්‍රියාදාමයකට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත්, බණ්ඩාරනායක, කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය සමඟ පාර්ලිමේන්තුවෙන් පිටත මහා රැස්වීමක් ඇමතූ අතර, ජේ ආර් අය වැය ඉදිරිපත් කරමින් සිටිය දී – 50,000 කට අධික පිරිසක් ගාලුමුවදොර පිටියේ විරෝධතාවයේ නිරත විය.

හර්තාලය ගොඩනැගීම ඇත්ත වශයෙන්ම සිදු වූයේ අය වැය ඉදිරිපත් කිරීමෙන් පසුවය. 1953 අගෝස්තු 12 වෙනිදා ලේක්හවුස් පුවත්පත් පැමිණියේ සුපුරුදු පරිදි වැඩ කරන්න! යන සිරස්තල සමගිනි. හර්තාල් දිනයේදී සිසුන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක්, සේවකයින් 40,000 ක් සහ වෘත්තීය සමිති විසින් එහි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ලදී. ඉන් පසුව, මධ්‍යාහනයේ දී ඩඩ්ලි සේනානායක මහජන ආරක්‍ෂක පනත යටතේ හදිසි නීතිය ප්‍රකාශයට පත්කළ අතර, සවස්භාගයේ දී වෙඩි තැබීමක් සිදු විය – 12 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් විය. එජාප කැබිනට් මණ්ඩලය වරායේ තිබූ ඉංග්‍රීසි යුද නැවකට පලා ගිය අතර, හර්තාලය පැය 24 ක් පමණක් වුවද ඉන් පසු මාසයක් දක්වා හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන ලදී. රට පුරා පිහිටි සිරගෙවල් සිරකරුවන්ගෙන් පිරී තිබුණි. සියලුම වාමාංශික පක්ෂවල කාර්යාල වටලා ඒවායේ මුද්‍රණ යන්ත්‍රවලට මුද්‍රා තැබීය.

හර්තාලය පිළිබඳ ඉතාම වැදගත් කරුණක්: පුද්ගලයින්ට පහරදීම් සිදු නොවීය. පෞද්ගලික බස් හිමියන් විසින් පවත්වාගෙන ගිය බස් සමාගම් ඉලක්ක විය –  ඔවුන් වෛරයට පාත්‍ර වූයේ ඒ සියල්ලන්ම ඉතාම ප්‍රතිගාමීන් වීම හා එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දීම නිසාය. එය සැබෑ මහජන ගැටුමකි – අපේ ඉතිහාසයේ මෙතෙක් සිදු වූ විශාලතම ගැටුම මෙයයි. මීට පෙර කිසි දිනෙක හෝ මින් පසුව මෙතරම් විශාල ගැටුමක් ඇති වී නැත.  පාර්ලිමේන්තුවට පිටතින් පියවර ගැනීමට වම ගත් සැබෑ අවසාන උත්සාහය එයයි.

 (1953 හර්තාලයේ මූලාරම්භය හා බලපෑම පිළිබඳ විරුද්ධ මතයක් සඳහා නලින් ද සිල්වාගේ තර්කය කියවන්න, කම්කරු පන්තියක් නැති නිසා සමාජවාදයක් නැත: ee දේශපාලනය, හර්තාලය)   

______________

B2. ශ්‍රී ලාංකික කම්කරුවකු ඝාතනය කිරීම සහ ජපානයේ කාර්මික ඔලිම්පික් උළෙල  

  • ඉදිරි වසර 50 තුළ මිලියන 10 ක් විදේශ ශ්‍රමිකයින් අවශ්‍ය බව ජපන් රජය ගණන් බලා තිබේ. වයස්ගතවීම හේතුවෙන් ජපානයේ වැඩ කරන වයසේ (15-64) ජනගහනය 2017 දී මිලියන 75.2 සිට 2030 දී මිලියන 67.7 දක්වාත්, 2060 දී මිලියන 44 දක්වාත් අඩු විය හැකි බවට පුරෝකථනය කර තිබේ. ඒ අතර, 2060 දී සමස්ථ ජනගහනය මිලියන 87 දක්වා පහත වැටෙනු ඇත.

මිලියන 127 ක් වූ  ජපානයේ ජනගහනයෙන් විදේශිකයන් 2% කි. මෙක්සිකෝව හැරෙන්නට අනෙකුත් සියලුම ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ  රටවල(ඉහළම අධිරාජ්‍යවාදී රටවල්) අඩුම විදේශීය ජනගහනය ජපානයේ සිටී. ජපානයේ පුරවැසියන් බවට පත්වීමට විදේශිකයින් ස්වල්ප දෙනෙකුට පමණක් අවසර දී ඇති අතර, ස්වල්ප දෙනෙකුට පමණක් සරණාගත රැකවරණය ලබා දී තිබේ. කෙසේ වෙතත්, 2017 දී එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට 4 වෙනියාට විශාලතම ආධාර ලබා දී ඇත්තේ ජපානයයි.

ජපානයේ විදේශීය ස්ථිර පදිංචිකරුවන් සංඛ්‍යාව මිලියන 2.23 ක් දක්වා ළඟා වී ඇති අතර, එය දශක 2 කට පෙර 72% ක වර්ධනයක් වේ. ස්ථීර නොවන වීසා බලපත්‍ර ලබාදීම් ද ඉහළ යාම නිසා තාවකාලික සේවකයින් හා පුහුණු සේවකයින් ද රහසිගතව වැඩි වී තිබේ. තහනමට ආසන්නව තිබූ අඩු නිපුණතා කම්කරුවන් සඳහා වූ වීසා බලපත්‍රය ලිහිල්කර විදේශ සේවිකාවන්ට ‘විශේෂ ආර්ථික කලාප’ තුළ වැඩ කිරීමට ඉඩ සැලසූ අතර, වැඩිහිටියන් හා රෝගීන් රැකබලා ගැනීමේ ‘රැකබලා ගන්නන්’ සඳහා වූ වීසා කොන්දේසි ද ලිහිල් කරන ලදී. කොම්බිනි (වීදි කෙලවර වෙළඳ සැල්, බොහෝ විට චීන ජාතිකයින්ගෙන් සමන්විත), වනාන්තර, ධීවර, ගොවිතැන හෝ ආහාර වැනි ඉතා සුළු අධ්‍යනයක් හෝ පුහුණුවක් පමණක් අවශ්‍ය රැකියා ක්ෂේත්‍ර වෙනුවෙන් සූරාකෑමට ලක්කරන බව  ඉතා හොඳින්ම දැන දැනත් ඒ සඳහා ශිෂ්‍ය හා පුහුණු වීසා ලබාදීම ලිහිල් කරන ලදී. ඉදිකිරීම්, සෞඛ්‍ය සේවා, නිවාසවල සේවා සහ දිගු කාලීන සත්කාර සේවා මෙන්ම අවන්හල් සේවකයින්ගේ ද හිඟයක් ඇති බව සමාගම් කියා සිටී.

  • 2018: ජපානයේ කම්කරු අමාත්‍යංශය සඳහන් කළේ සමාගම්වල සේවය කරන සංක්‍රමණික සේවකයින්ට ප්‍රමාණවත් අතිකාල දීමනාවක් ගෙවීමට ඔවුන්ගේ සමාගම් අපොහොසත් වී ඇති බව සහ එම සේවකයින් අනාරක්ෂිත සේවා තත්වයන්තුළ රැකියාවේ නිරත වී ඇති බවයි.

සාමාන්‍ය පරිදි දේශීය ජපන් සේවකයින්ගේ රැකියාවන් පීඩනයට පත් කිරීමට සංක්‍රමණිකයින් භාවිතා කෙරේ. උදාහරණ වශයෙන් කම්කරුවන් සිය දිවි නසා ගැනීමට පවා තල්ලු කරන පීඩනය නිසා රැකියාව හා සම්බන්ධ මරණ ගණනාවකට චෝදනා මිට්සුබිෂි ඉලෙක්ට්‍රික් සමාගමට එල්ල වී තිබේ. මාසයකට පැය 100 කට වඩා වැඩියෙන් අතිකාල වැඩ කිරීමට සිදු වීම නිසා එක් සේවකයෙකු සියදිවි නසා ගෙන තිබුණි.

  • 2019:  සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම් තීරණය කිරීමේ දී වර්තමානයේ කරගෙන යන ආකාරයට ජ්‍යෙෂ්ඨත්වය ප්‍රධාන නිර්ණායකයක් වශයෙන් ගැනීම වෙනුවට, කාර්ය සාධනය පිළිබඳව සළකාබලන ලෙස ටොයොටා ‘සමාගමේ’ වෘත්තීය සමිතිය අවධාරණය කර තිබුණි. සම්ප්‍රදායිකව, වයස හෝ සේවා කාලය අනුව ජපානයේ සේවකයින්ට ස්වයංක්‍රීය වැටුප් වැඩිවීමක් ලැබේ. සමහර ප්‍රධාන ජපන් සමාගම් තම වැටුප් ක්‍රමය ජ්‍යෙෂ්ඨත්වය මත පදනම් කරනු වෙනුවට සේවකයාගේ ‘හැකියාව හා කාර්‍ය සාධනය’ අනුව තීරණයවන ලෙස වෙනස් කර තිබේ. තරුණ සේවකයින් ‘උනන්දු’ කිරීම සඳහා 2021 ජූලි මාසයේ සිට මිසුහෝ මූල්‍ය සමූහය විසින් එහි මිලූහෝ බැංකුව සහ මිසූහෝ ට්‍රස්ට් ඇන්ඩ් බෑන්කින් සමාගම ඇතුළු සමූහයට අයත් සමාගම්වල කළමනාකරුවන් 5,000 කගේ ස්වයංක්‍රීය වැටුප් වැඩිකිරීම් අහෝසි කිරීමට සූදානම් විය. 2021 ජූනි මාසයේ දී, මේ සඳහා සූදානම් වීමක් ලෙස, මිසූහෝ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී කොජි ෆුජීවරා රැකියාවෙන් ඉවත්වන බවත්, දෙමසු මිසුහෝ මූල්‍ය සමූහයේ (8411.T) ප්‍රධානියාවන ටැට්සුෆුමි සකායි තම වැටුප අඩු කරන බවත් නිකී වාර්තා කරන ලදී. කෙසේ වෙතත්, ෆුජිවාරා මාස 4 ක් පමණක් 50% ක වැටුප් කප්පාදුවක් සමඟ රැඳී සිටි අතර, සකායි මාස 6 ක වැටුප් අඩු කිරීමකට යටත් විය. අයිටී ඇන්ඩ් සිස්ටම්ස් සමූහයේ තිදෙනෙකු වෙනත් තනතුරු හෝ භූමිකාවන්ට පත්කරන ලදි – රැකියාවෙන් ඉවත් නොකෙරුණි.
  • 2020: ඇමරිකාවේ ඇති ජපන් සමාගම් මෙහෙයුම්වලට බාධා ඇති වන බව පවසමින් කීඩාන්රන් සභාපති හා හිටාචි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් එක්සත් ජනපදය සමහර රැකියා වීසා නැවැත්වීමට ගත් පියවරට විරෝධය දැක්වනු ලැබීය. එක්සත් ජනපද රජය ස්ථිර පදිංචිය සඳහාවන ‘ග්‍රීන් කාඩ්’ වීසා නිකුත් කිරීම නවතා දමා තිබූ අතර, බොහෝවිට තාක්‍ෂණ සමාගම් භාවිතා කරන H-1B රැකියා වීසා, කෘෂිකාර්මික නොවන තාවකාලික සේවකයින් භාවිතයට ගන්නා H-2B වීසා සහ හුවමාරු අමුත්තන් හා අන්තර් සමාගම් මාරුවීම් සම්බන්ධ වීසා ද එම තහනමට ඇතුළත් විය.
  • 2021: ජූනි, ඌබර් ජපෑන් කෝපරේෂන්, සමාගම වීසා බලපත්‍ර කල්ඉකුත් වී ඇති විදේශිකයින් බඳවා ගන්නා බවට ටෝකියෝ පොලිසිය විසින් චෝදනා ඉදිරිපත් කරන ලදී…

ජූලි 31,  ජපානය 2019 අප්‍රේල් මාසයේ දී හඳුන්වා දුන් විශේෂ නිපුණතා සේවක වීසා බලපත්‍රය යටතේ සංක්‍රමණික සේවකයින් සඳහා රැකියා අවස්ථා 350,000 ක් විවෘත කළ බව නිවේදනය කළ අතර, සේවකයින් එම රැකියාවන් තුළ නිරතවන්නේ කුමක් සඳහා ද යන්න සඳහන් නොකර උසස් රැකියාවන් යැයි හැඟවෙන කාණ්ඩ 14 ක් සඳහා ශ්‍රමිකයින් අවශ්‍ය බව ප්‍රකාශ කෙරුණි: රැකවරණ සේවා සේවකයින්; ගොඩනැගිලි පිරිසිදු කිරීම; යන්ත්‍ර කොටස් සහ මෙවලම් කර්මාන්ත; කාර්මික යන්ත්‍රෝපකරණ කර්මාන්ත; විදුලි, ඉලෙක්ට්‍රොනික උපාංග සහ තොරතුරු කර්මාන්ත; ඉදිකිරීම් කර්මාන්තය; නැව් තැනීම සහ නාවික යන්ත්‍රෝපකරණ කර්මාන්තය; වාහන අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම; ගුවන් සේවා, නවාතැන් කර්මාන්තය, කෘෂිකර්මාන්තය; ධීවර කටයුතු; ආහාර පාන නිෂ්පාදනය කිරීම; සහ ආහාර සේවා කර්මාන්තය.

  • 2021 ජූලි: විශේෂයෙන්ම සේවාවන් සඳහා පාරිභෝගික වියදම් පහත වැටී ඇති බව ජපානය වාර්තා කරන ලදී. ප්‍රාග්ධන ගොඩනැගීම් සහ රජයේ වියදම්වල ද එවැනිම පහත වැටීමක් දක්නට ලැබුණි. මෙම වසරේ ෂුන්ටෝ (වෘත්තීය සමිති වාර්ෂික වැටුප් සාකච්ඡා) මගින් පෙන්නුම් කරන පරිදි වැටුප් වර්‍ධනය 1.8%ක් පමණක් වන අතර, එය වසර 12 ක් තුළ අඩුම අගයයි. මාර්තු මාසයේ 2.6% අගයක සිට අප්‍රේල් මාසයේ දී විරැකියා අනුපාතය 2.8% දක්වා ඉහළ යාම මගින් වැටුප් වැඩිවීම් සීමා කරනු ඇත. 2018 අවසානයේ සිට උපයෝජ්‍ය ආදායම වර්ධනයවීම නැවතී තිබේ.

ජපානයේ සමස්ත ආදායම සහ වියදම ජනගහන ව්‍යාප්තිය මඟින් තවදුරටත් සීමා කෙරේ. මුළු ජනගහනය සහ වැඩ කරන වයසේ ජනගහනය වසරකට පෙර තිබූ වේගයට වඩා වේගයෙන් පහත යමින් තිබේ. අපේ‍්‍රල් මාසයේදී වයස අවුරුදු 15-64 අතර ජනගහනය අවුරුද්දකට පෙර තිබූ සංඛ්‍යාවට වඩා 590,000 කින් අඩු විය.

වැඩ කරන වයසේ ජනගහනයේ අඩුවීමකින් අඩක්වත් සපුරාලීමට ප්‍රමාණවත් නොවන පරිදි 2020 දී ජපානයේ විදේශයන්හි උපන් විදේශික ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව 65,500 කින් පමණක් ඉහළ ගොස් තිබේ. වැඩිවන ශ්‍රම බලකා සහභාගීත්වයේ හිඩැස පිරවීමට එයට යම් ප්‍රමාණයකින් උපකාර වියහැකි නමුත්, ශ්‍රම බලකාය වර්ධනය කර ගැනීම සඳහා ශක්තිමත් සංක්‍රමණයක් අවශ්‍ය වේ.

සංක්‍රමණික සේවකයින් සේවයේ යොදවා ගන්නා ජපන් කර්මාන්ත වසංගතයෙන් වැඩිපුරම පීඩාවට පත් විය. විදේශීය ශ්‍රමිකයින්ගේ හිඟය නිසා ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රමය අඩු කිරීමේ තාක්‍ෂණය සඳහා වූ ආයෝජන දිරිමත් කෙරේ.

ජපානයේ නිෂ්පාදන සඳහා ගෝලීය ඉල්ලුම තවමත් ශක්තිමත් වන අතර, අප්‍රේල් මාසයේ භාණ්ඩ අපනයනය 2019 දෙසැම්බර් සිට 7.9% කින් ඉහළ ගොස් තිබේ. අර්ධ සන්නායක යන්ත්‍ර අපනයනය අඛණ්ඩව ඉහළ යමින් අප්‍රේල් මාසයේ දී වාර්තාගත ඉහළ අගයක් වාර්තා කළ අතර එය වසරකට පෙර තත්වයේ සිට 93% කින් විශාල ලෙස ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, අර්ධ සන්නායක යන්ත්‍ර අපනයනය 2020 අප්‍රේල් මාසයේ දී යහපත් මට්ටමක පැවතුනි. ගෝලීයව පවතින අර්ධ සන්නායක උපාංග හිඟය නිසා ඒවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහ උපකරණ සඳහා ඇති ඉල්ලුම ඉහළ යමින් තිබේ. අප්‍රේල් මාසයේ ජපානයේ අර්ධ සන්නායක යන්ත්‍ර අපනයනයෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක ගැනුම්කරු වූයේ චීනය යි.

එක්සත් ජනපදය චීනයේ විශාලතම චිප් නිෂ්පාදකයාට සම්බාධක පැනවීම හේතුවෙන් අර්ධ සන්නායක නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීමට චීනය උනන්දු වෙයි. චිප් නිෂ්පාදනයේ තාක්‍ෂණික ඉදිරිපෙළට ලඟා වීමට චීනය දරන උත්සාහයන් මැඩපැවැත්වීම සඳහා එක්සත් ජනපදය අපනයන පාලනයන් ක්‍රියාත්මක කර තිබේ. චිප් හිඟයේ අනෙක් පාර්ශවය වන්නේ ඉල්ලුම සපුරාලීම සඳහා වාහන නිෂ්පාදකයින්ට ඇති අපහසුතාවය යි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ජපානයේ වාහන අපනයනය වසර 2 කට පෙර තිබූ තත්වයෙන් 6.7% කින් පහළ වැටුණු අතර ජපානයට යෙන් බිලියන 72 ක පාඩුවක් සිදු විය. කෙසේ වෙතත්, අර්ධ සන්නායක යන්ත්‍ර සූත්‍රවල ලාභය වාහන අපනයනය පහළ වැටීම නිසා ඇතිවන ඕනෑම අපනයන අලාභයක් පියවා ගැනීමට වඩා ඉහළ ය.  

මේ වසරේ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව යෙන් වටිනාකම 5% ක් පමණ දුර්වල වූ හෙයින් අපනයන වඩාත් තරඟකාරීවනු ඇති අතර ආනයනික භාණ්ඩ බොහෝමයක් ඩොලර් වලින් මිල දක්වා ඇති නිසා ඒවායේ මිල අධික වනු ඇත. ලොව විශාලතම ආර්ථිකයන් නැවත විවෘත කිරීමත් සමඟ ආනයන මිල ස්ථාවර වනු ඇති අතර විදේශීය ඉල්ලුම වේගවත්ව ඉහළ නගින නිසා වෙළඳ ශේෂය අතිරික්තව පැවතිය යුතුය.

ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල ඉහළ බඩු මිලක් සහ උද්ධමන පීඩනය පිලිබඳ කනස්සල්ලක් තිබියදීත්, ජපානයේ උද්ධමනය කිසිසේත්ම නැත. නැවුම් ආහාර හැර මූලික උද්ධමනය 2020 මාර්තු සිට වාර්ෂික වැඩිවීමක් වාර්තා කර නැත. දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.9% ක් වූ ජපානයේ සෘජු මූල්‍ය උත්තේජනය දියුණු ආර්ථිකයන් අතර 6 වන ඉහළම අගය විය. සිරවී තිබූ ඉල්ලුම ඉහළ යාමෙන් පසුව, දුර්වල වැටුප් වර්‍ධනය, ජනගහනයේ අඩුවීම සහ හිඟ සංක්‍රමණික සේවකයින් ආදිය හේතුවෙන් වසංගතය ඇතිවීමට පෙර මුහුණ දුන් මන්දගාමී වර්ධන මාවතට ජපානය නැවතත් යාමට ඉඩ තිබේ. 

ජපානයට කාර්මික වශයෙන් වඩාත් තරඟකාරී වීමට,  පර්යේෂණ වැඩි දියුණු කිරීමට හා අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට ජනගහන විවිධත්වය වැඩි කළ යුතු බව කීඩාන්රන් ඉතාම පම්පෝරි සහගත ලෙස කියා සිටී. ‘ස්ත්‍රී ආර්ථිකය’ නමින් ඔවුන් කියා සිටියේ ගෘහ සේවය සහ රැකවරණ සේවකයින්ගේ සංක්‍රමණය කිරීම සීමා කිරීම හේතුවෙන් ජපන් කාන්තාවන්ට රැකියාව සහ පවුල් ජීවිතය ඒකාබද්ධ කිරීම දුෂ්කර වූ හෙයින්, පුළුල් ආර්ථිකයට ජපන් කාන්තාවන්ගේ සහභාගීත්වය සීමා වූ බවයි. 

සිලිකන් නිම්නයේ දී මෙන් සංක්‍රමණිකයන් නිසා ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනයන් ඇතිවන බව ඔවුහු කියති; OECD රටවලින් විශේෂයෙන්ම කාන්තාවන් අතර රැකියා කරන අයගේ කොටසක් ලෙස ව්‍යවසායකයින්ගේ සංඛ්‍යාව ජපානයේ පහළම අගයක් ගනී. ද්වීභාෂා කාර්ය මණ්ඩලයක් අවශ්‍ය ජාත්‍යන්තර සමාගම්වලට ආධාර කරමින් සංක්‍රමණිකයින් භාවිතාකර ජපානයේ අඩු සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4 % සිට දෙගුණයක් දක්වා ඉහළ නැංවීමට ඔවුහු අපේක්ෂා කරති. 

_____________

B3. බුදුන් හා සංඝයාගේ මූලාරම්භය   

බුදුන් වහන්සේ උපත ලැබුවේ දේපල පොදුවේ පවත්වාගත් ‘ගෝත්‍රික අධිපතීන්ගේ’ සම්මේලනයක් වන ගණ සංඝයක් තුළ වන අතර, එහි දේපල අන්සතු කිරීම – විශේෂයෙන් ඉඩම් – සඳහා සමස්ත ඥාති ප්‍රජාවගේම අනුමැතිය අවශ්‍ය විය. එහි දී ශ්‍රම විභජනය ජීවවිද්‍යාත්මක විය: සතුරු ප්‍රහාරවලින් ගෝත්‍රය සහ සතුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පිරිමින් යුද්ධ සඳහා සුවිශේෂී විය. කාන්තාවන් සහ ගැහැණු ළමයින් ගවයින් රැක බලා ගත් අතර, අද දක්වාම බොහෝ දකුණු ආසියානු භාෂාවලින් දියණිය යන වචනය දුව යන වචනයෙන් පැමිණ තිබේ – ‘කිරි ඇද ගන්නා තැනැත්තිය’ යන අදහස එහි ගැබ් වී තිබේ. කණ්ඩායමේ සාමූහික සුභසාධනයට අදාළ කරුණු පොදු සභාව – සභා – ගෝත්‍රික සභාව තුළ සමථයකට පත් විය. 

ගණ සංඝයන් කුරු-පන්චාල කලාපයේ බ්‍රාහ්මණ රාජාණ්ඩුවලින් සහ ඊසාන දිග ඉන්දියාවේ රාජාණ්ඩුවලින් ද වෙනස් විය. සිද්ධාර්ථ ගෞතමයන් ලෙස තමන් හැදී වැඩුණු සමාජ සම්ප්‍රදායන් අනුගමනය කිරීම නිසා බුදුන් වහන්සේගේ සංඝ සමාජය පිහිටුවීමත් එහි සාරධර්ම හා පිළිවෙත්වලට මඟ පෑදීමත් සිදුවිය. බෞද්ධ ග්‍රන්ථ වලට අනුව බටහිර ගංගා සහ මධ්‍ය ගංගා ආශ්‍රිත ප්‍රදේශ සොලොස් මහාජනපද හෙවත් විශාල පරිමාණයේ ජනාවාස මගින් ජනාවාසගත වී තිබුණි.

සිද්ධාර්ථ ගෞතම තම ගෘහ ජීවිතය අත්හරින අවස්ථාවේ දී, ඔහු අයත් වූ ශාක්‍ය සම්මේලනය කොසොල් රාජධානිය විසින් ඈඳා ගැනීමෙන් අර්ධ ස්වයං පාලන දිස්ත්‍රික්කයක් බවට පත්වී තිබුණි. මගධ රාජ්‍යය සෙසු ජනපදවල නටබුන්වලින් ඉහළට නැඟී පසුව පැරණි ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම අධිරාජ්‍යය බවට පත්විය. කෙසේ වෙතත්, ඓතිහාසික වශයෙන්, ශාක්‍ය වංශයේ කීර්තිය අනෙක් ජනපද සියල්ලන් අභිබවා යන්නේ සුවිශේෂී මිනිසෙකු වූ සිද්ධාර්ථ ගෞතමයන් එහි බිහි වූ නිසාය.

ගණ සංඝ සමාජ සංවිධානය – ජනරජ හෝ කතිපයාධිකාරිය ලෙස විස්තර කෙරෙන ගණ සංඝ ක්‍රමය වඩාත් නිවැරදිව අර්ථ දැක්වෙන්නේ සංඝ – සම්මේලන හෝ ගණ සංවිධානමය එකතූන් – ගෝත්‍ර ලෙස ය. ඔවුන් ජීවත් වූයේ හිමාලයේ පහත් බෑවුම් දිගේ වන අතර ඇතැම්විට විට මධ්‍යම ගංගා නිම්නයේ ඝන වනාන්තර එළි පෙහෙළි කිරීමට පෙර එහි පදිංචිවන්නට ඇත. මෙම ක්ෂත්‍රීය වංශයට අයත් පදිංචිකරුවන් ඔවුන්ගේ කාලයක් පුරා රැකුණු සම්ප්‍රදායන් ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් කඳුකරය දෙසට ගමන් කරන්නට ඇත. ඔවුන් රාජාණ්ඩු ක්‍රමයට දැඩි ලෙස විරුද්ධ වූ අතර, තම මුතුන් මිත්තන්ගේ පැරණි, පූර්ව බ්‍රාහ්මණ සම්ප්‍රදායන්ට ගෞරව කළහ. ගණ සංඝයේ සමාජ ස්ථරීකරණය සරල ස්ථර 2 කින් යුත් පද්ධතියකින් සමන්විත විය: දේපල හිමි පාලක ඛත්තීය ස්ථරය සහ දේපල අඩු අත්කම් කම්කරුවන් වූ, දස කම්මකාරා ස්ථරය. පළමුවන බුද්ධ සංඝය තුළ මෙම නුසුදුසුකම අහෝසි කරන ලදි. පුරුෂයින්ට හා කාන්තාවන්ට ඔවුන්ගේ කලින් උපන් තරාතිරම නොසලකා සමාන අයිතිවාසිකම් හිමි වූ අතර දේපල පොදුවේ හිමි විය.

ගණ සංඝයේ ඛත්තීය කාන්තාවන් බ්‍රාහ්මණීකරණය වූ ප්‍රදේශ වල කාන්තාවන්ට වඩා නිදහස්  විය. බුද්ධ සංඝය තුළ සන්‍නාසි ගුරුවරුන්ගේ කාන්තා ශාඛාවක් පිහිටුවීමට හේතු වූ සිද්ධීන් අනුව විනිශ්චය කළ හැකි පරිදි, ඔවුන් ද තමන්ගේම ස්වඅදහස් තිබූ කාන්තාවන් බව පෙනේ. මෙය සමහර විට කාන්තාවන් කණ්ඩායමක් ප්‍රසිද්ධියේ ඉල්ලීම් ලබාගැනීමට සහ පිරිමින්ට සමාන අයිතිය දිනා ගැනීමට සංවිධානය වූ මුල්ම උදාහරණය විය හැකිය.

ගණ සංඝ සම්ප්‍රදායන් දැනසිටි බුදුන් සංඝරත්නයේ අඛණ්ඩ එකමුතුකම සහ සුභසාධනය සහතික කිරීම සඳහා මූලික ප්‍රතිපත්ති 7 ක් ප්‍රකාශ කළේය. ඔවුන් මේ ආකාරයට සිටින තාක් කල් ඔවුන් පිරිහීමට ලක් නොවී සමෘද්ධිමත් වනු ඇත:

  1. නිතර නිතර රැස්වීම සහ තම වංශයේ ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීම;
  2. එකඟතාවයෙන් එකට හමු වී තම කටයුතු එකඟතාවයකින් ඉටු කිරීම;
  3. මෙසේ පනවන ලද දේට අනුකූලව කටයුතු කර, පනවන ලද කිසිවක් අහෝසි නොකරන අතර තම ඉපැරණි ආයතන අනුව කටයුතු කිරීම;

ඊළඟ මූලධර්ම 4 නම් බුදුන් වහන්සේ ශිෂ්ටසම්පන්න ගණ සංඝයක ලක්‍ෂණ ලෙස සලකන ‘ඉපැරණි ආයතන’ පිළිබඳ ලක්ෂණ වේ:

  • ඔවුන් තම වැඩිහිටියන්ට සැළකිලි දැක්වීම, ගෞරව කිරීම හා සහයෝගය දැක්වීම සහ ඔවුන්ගේ වචන වලට සවන් දීම යුතුකමක් ලෙස සලකයි.
  • වංශයට අයත් කිසිදු ගැහැණු අයෙකු හෝ ගැහැණු ළමයෙකු බලහත්කාරයෙන් හෝ පැහැරගැනීමෙන් ඔවුන් අතර රඳවා නොගනී. 
  • ඔවුන් දෙස් විදෙස් චෛත්‍ය සිද්ධස්ථාන වලට සැළකිලි දක්වයි, ගෞරව කරයි සහ සහයෝගය දක්වයි, පෙර දී සිදු කළ නිසි පූජාවන් හා චාරිත්‍ර වාරිත්‍රවලට විනාශ වී යාමට ඉඩ නොදේ… චෛත්‍ය හෝ ස්ථූප යනු ගෝත්‍රයට අයත් මුතුන් මිත්තන්ගේ අස්ථි අඩංගු විශාල ගෝලාකාර හැඩැති සොහොන් කොත් ය.
  • ඔවුන් අතර සිටින අරහතුන්ට නිසි රැකවරණය, ආරක්‍ෂාව සහ සහයෝගය ලබා දිය යුතු අතර, එමඟින් ඈත සිට රාජධානියට ඇතුළු වන අරහතුන්ට එහි සැහැල්ලුවෙන් වාසය කළ හැකිය…

පළමු කොන්දේසි 6 සම්බන්ධ වන්නේ සමාජය නිසි පරිදි පිළිවෙලට සකස් කිරීම සම්බන්ධයෙනි. මෙම අවසාන කොන්දේසිය අවධාරණය කරන්නේ සමාජ පරිහානිය වැළැක්විය හැක්කේ උසස් පොදු හා පෞද්ගලික සදාචාරයේ උසස් ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා සමාජයක් තුළ ආරක්‍ෂාව ගොඩනගා තිබේ නම් පමණක් බවයි. සෑම සමාජයකටම ආදර්ශවත් සදාචාරාත්මක විශිෂ්ටත්වයේ සම්මතය දරා සිටින පිරිමින් සහ කාන්තාවන් අවශ්‍යයි. තම සංඝය මෙම අවශ්‍යතාවය ස්වයංක්‍රීයවම සපුරාලනු ඇතැයි බුදුන් වහන්සේ යෝජනා නොකළේය. පුරුෂයින්ට හා කාන්තාවන්ට ගෞරවය හා සහයෝගය ලබා දිය යුත්තේ ඔවුන්ගේ සදාචාරාත්මක හැසිරීම සඳහා මිස වරප්‍රසාද ලත් ලෙස ඔවුන්ට සැලකිය යුතුයැයි කීමේ කිසිදු පූර්ව ප්‍රකාශයක් නිසා නොවේ. බුදුන් වහන්සේ ඉතාම පැහැදිලි ව එය ප්‍රකාශකර තිබේ: සත්‍ය අරහතුන් වන්නේ සතුන් මැරීමෙන් වැළකී සිටින,  නිහතමානී, කරුණාවන්තකම පෙන්වන, සියලුම සතුන්ට  මිත්‍රශීලීව හා දයානුකම්පිතව සිටින, ලබා දී නැති දේ ගැනීමෙන් වැළකී සිටින, නිර්මල ජීවිත ගත කරන, අසත්‍යයෙන් වැළකී සිටින, නිස්සාර කාර්යන්ගෙන් ඈත් වී සිටින සහ  සුඛෝපභෝගී ජීවිතයෙන් ඈත් වී සිටින අය බව ඔහු අවධාරනය කළේය… (තොරතුරු නලින් සුවාරිස් ගේ මානව විමුක්තිය සඳහා බුදුන්ගේ මඟ කෘතියෙනි)

______________

B4. චීනයේ කොමියුනිස්ට් පක්ෂය සහ කාර්මික පක්ෂය  

– ‘අන්තර්ජාලයේ ට්‍රෝල්’ වලට සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජන – රතීන්ද්‍ර කුරුවිට, 2021 අගෝස්තු 8 

චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) මිනිසුන් නිවාස අඩස්සියේ තැබීමේ අදහසින් තමන්ට එරෙහි විවේචනාත්මක අන්තර්ගතයන් සෙවීමට රටේ සමාජ මාධ්‍ය වේදිකා පීරා බලන බව උපකල්පනය කරමු. ඇත්ත වශයෙන්ම, ඇතැම් බ්ලොග් කරුවන් සහ මැසේජ් බෝඩ් න්‍යායාචාර්යවරුන් නිවාස අඩස්සියේ තබා තිබේ; කෙසේ වෙතත්, බොහෝ විට චීන කොමියුනිස්ට් පක්ෂය තම ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව කුමක් කියන්නේ දැයි දැන ගැනීමට එසේ සිදුකරයි.  

මෑත වසරවල දී, හූ ජින්ටාවෝගේ සිට විශේෂයෙන් ෂී ජින්පින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයා වීමෙන් පසුව, අන්තර්ජාලයේ පල කිරීම් හරහා නායකත්වයට වටිනා ප්‍රතිපෝෂණ සහ අදහස් ලබා දිය හැකි බව ඔවුන් දන්නා නිසා එසේ පලකෙරෙන දේ සම්බන්ධව දේශපාලන බලධාරීන්ගේ නිරීක්‍ෂණයන් ඉහළ නංවා තිබේ. චීනයේ, අමාත්‍යංශවලට සහ කුඩා රාජ්‍ය ආයතනවලට පවා ඔන්ලයින් පබ්ලික් ඔපීනියන් ආදී මූලාශ්‍රයන් සඳහා ප්‍රවේශය තිබේ. ඔන්ලයින් පබ්ලික් ඔපීනියන් යනු අන්තර්ජාලයේ අදහස් සහ අනෙකුත් සේවා සපයන්නන්ගේ අදහස් එක්කර සකස්කොට ඇති පීපල්ස් ඩේලි මේල් ප්‍රකාශනයකි. මෙය තම රටවල් මෙහෙයවන අයට වැදගත් වන්නේ කුමක්ද යන්න ප්‍රශ්න කරන විවේචකයින්ව රුසියානු හෝ චීන නියෝජිතයින් ලෙස හැඳින්වීමෙන් අවතක්සේරු කිරීමට සහ අවලංගු කිරීමට කැමති ඉංග්‍රීසි භාෂා ලෝකයේ බොහෝ රටවලට වඩා වෙනස් ය.

චීන කොමියුනිස්ට් පක්ෂය විශේෂයෙන්ම උනන්දුවක් දක්වන්නේ අති විශාලලෙස ජනප්‍රිය මූල්‍ය හා සංවර්ධනය පිළිබඳව වූ බ්ලොග්කරුවන් වෙතය. සාමාන්‍යයෙන් අන්තර්ජාලයේ ඇති නිවැරදි කිරීමේ ව්‍යාපාර වලින් මෙම කව සාමාන්‍යයෙන් නිදහස් වන අතර, පීපල්ස් ඔන්ලයින් හි 2011 මහජන අදහස් වාර්ෂික වාර්තාවේ අන්තර්ජාලයේ ඇති අදහස් නිරීක්ෂණය කිරීමේ වටිනාකම විශේෂයෙන් සඳහන් කර තිබේ. මෙම බ්ලොග්කරුවන්ගේ සහ මැසේජ් බෝඩ් න්‍යායාචාර්යවරුන්ගේ අදහස්වලට සවන් දීම පමණක් නොව, ඒ අනුව පක්ෂයේ මූලික ප්‍රතිපත්ති සකස් කළ අවස්ථා ද ගණනාවක් තිබේ.

මෙම ලිපිය බොහෝ දුරට විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රීය පසුබිමක් ඇති ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාලවල බ්ලොග්කරුවන් සහ මැසේජ් බෝඩ් න්‍යායාචාර්යවරුන් කණ්ඩායමක් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්ති කෙරෙහි ඔවුන්ගෙන් සිදු වූ බලපෑම පිළිබඳවය. ලේඛකයෙකු සහ ජාතිකවාදී හැඟීම් ඇතිකරවන්නෙකු වූ වැන්ග් ෂියාඕඩොං විසින් ඔවුන්ව කාර්මික පක්ෂය වශයෙන් නම් කර තිබේ.

කාර්මික පක්ෂය – ඩෙං ෂියාඕපින්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආර්ථිකය විවෘත කිරීම් වේගවත් වූ 1990 දශකයේ මහජන චීන සමූහාණ්ඩුවට වැදගත් දශකයක් විය. කෙසේ වෙතත්, එය මහජන චීන සමූහාණ්ඩුවේ අවම බුද්ධිමය යුගයක් ද විය. බුද්ධිමතුන් කොන් කරනු ලැබූ අතර, චීන කොමියුනිස්ට් පක්ෂය ඒ වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වෙත යොමු වීම සිදුවිය.

සම්ප්‍රදායික මාධ්‍ය තුළ විසම්මුතික අදහස් දැක්වීම සඳහා 1980 ගණන්වලට වඩා අඩු ඉඩක් එකළ තිබූ නමුත් ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල තුළ පරිගණක ජාල වල අන්තර්ජාල මැසේජ් බෝඩ් වර්‍ධනය වෙමින් පැවතුණි. 2000 දශකයේ මුල් භාගය වන විට ඒවා වාණිජ ජාල වෙත ව්‍යාප්ත වෙමින් පැවතුනි. විශේෂයෙන් විද්‍යාව, තාක්‍ෂණය සහ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රීය පසුබිම් ඇති ෂොං ක්විං වැනි අයට අන්තර්ජාලය හරහා ප්‍රජාවක් හමුවිය. මිලිටරි කටයුතු සහ වර්තමාන සිදුවීම් පිළිබඳව ඔවුන්ගේ මැසේජ් බෝඩ් තුළ අවධානය යොමු විය.

මෙම තරුණයින් දෘෂ්ටිවාදාත්මකව විෂමජාතී වූ නමුත්, කාර්මික ප්‍රතිපත්තිය සහ විද්‍යාත්මක ප්‍රවීණතාවය හරහා ඔවුන් විශ්වාස කළ පරිදි මානුෂීය නොවන මුල්‍යකරණයෙන් චීනය ඈත් කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට ඇති ආශාව නිසාම ඔවුන් එකට බැඳී  තිබුණි. චීන සමාජය දුර්වලකිරීමට තුඩු දුන් ‘වැඩ කරන පැය 996’ වැඩසටහන -සතියේ දින 6 ක් පෙ.ව. 9 සිට ප.ව. 9 දක්වා – පිළිබඳව ඔවුහු දැඩි ලෙස සැලකිලිමත් විය. කාර්මිකකරණය විද්‍යාව හා ප්‍රජාතන්ත්‍රවාදය මෙන් විශ්වීය වටිනාකමක් බවට පත් විය යුතු බව කාර්මික පක්ෂයේ අය විශ්වාස කරයි.  

එවකට චීන කොමියුනිස්ට් පක්ෂයේ නිල දේශපාලන හා ආර්ථික සම්ප්‍රදායිකවාදය වූයේ සෘජු විදේශ ආයෝජන ප්‍රවර්‍ධනය කිරීම, පහළ මට්ටමේ අපනයනය පදනම් කරගත් නිෂ්පාදනය සහ ආර්ථිකයේ ඇතැම්  අංශ වෙළෙඳපොළට නිරාවරණය කිරීමට ඉඩ ලබා දීම යි; එම ප්‍රතිපත්ති අඛණ්ඩව පැවතුනහොත් චීන ආර්ථිකය බිඳ වැටෙනු ඇතැයි ෂොං විවෘතවම අනාවැකි පළ කළේය. වෙළඳපොළ තරඟයෙන් චීනය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රධාන අංශයන්හි තාක්‍ෂණික රාජ්‍ය පාලනයක් ඉල්ලා සිටි ඔහු ජාතිය ඉදිරියට ගෙන යාමට සහ බටහිර රටවලට වඩා ඉදිරියෙන් තාක්‍ෂණික හා දේශපාලන නායකත්වයක් ලබා දිය හැකි රැඩිකල් කාර්මික ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටියේය.

මේ 2000 දශකයේ මුල් භාගය වූ අතර ඒ අවස්ථාව වනවිට ජෙට් සහ චිප් තැනීම ආරම්භ කිරීම සඳහා චීනය අඩු මිලැති නිෂ්පාදනවලදී සිය සාපේක්ෂ වාසිය අත්හැරිය හැකිය යන්න රැඩිකල් අදහසක් විය. එකල චීනයේ ‘අන්තර්ජාලයේ ඉදිරිපෙළ මුල්බැස සිටින්නන්’ හැර වෙන කිසිවෙකු චීනය බටහිර අධිපතිවාදයට අභියෝග කළ යුතු යැයි හෝ බටහිර අභිබවා යනු ඇතැයි විශ්වාස නොකළේ ය. නමුත් වසර කිහිපයකට පසු සියල්ල වෙනස් විය; හූ ජින්ටාවෝ සහ වෙන් ජියාබාවෝ වෙනුවට ෂී ජින්පින් පත් කරන ලදි. චීන ජාතියේ මහා පුනර්ජීවනය ආරම්භ විය.

ෂී සහ කාර්මික පක්ෂයේ ප්‍රධාන ධාරාගතවීම – ෂී යටතේ, කාර්මික පක්ෂයේ ප්‍රධාන අදහස්, උසස් සංවර්ධන ආඛ්‍යානය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම, විද්‍යාත්මක චින්තනය රැකීම සහ දියුණු තාක්‍ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් බටහිර ලෝකය පසුකරයාම චීන කොමියුනිස්ට් පක්ෂ ප්‍රතිපත්තියේ ප්‍රධාන තැනක් ගෙන තිබේ. කුමක් වුවත්, කාර්මික පක්ෂය නොපැහැදිලි විරෝධතා කණ්ඩායමක තත්වයේ සිට වේගවත් ඉදිරිපෙළ ගාමකයින් බවට පත්වූයේ මැසේජ් බෝඩ් සමාජ මාධ්‍ය බවට පත් වූ ආකාරයටය. චීනයේ සංවර්ධනය පිළිබඳ මාර්‍ගගත චින්තකයින්ට දැන් වඩාත් පුළුල් ප්‍රේක්‍ෂක පිරිසක් සිටී. 

ෂෙන්සෙන් නිංනාන්ෂාන් දැන් කාර්මික පක්ෂයේ නව මුහුණුවර වන අතර ඔහුගේ ලිවීම ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ තාක්‍ෂණික දියුණුව තුළින් ජාතිය බේරා ගැනීම සහ බටහිර ආධිපත්‍යය බිඳ දැමීම කෙරෙහි ය. නව යුගයක් සඳහා චීන ලක්‍ෂණ සහිත ෂී ජින්පින්ග්ගේ සමාජවාදය පිළිබඳ චින්තනය සහ එක්සත් ජනපදය සමඟ පවතින වෙළෙඳ යුද්ධය මඟින් මෙම අදහස්වලට පිටුබලය දෙනු ඇත. ‘මධ්‍යම පාන්තිකයෙකු ලෙස මගේ පැමිණිලි’ නම් ලිපියක් මගින් නගර වල ජීවත්වීමේ හැකියාව ප්‍රශ්න කරමින්, සුළුතරයක් වූ ධනපතියන් අතිශයින් ධනවත් කිරීමට සාමාන්‍ය ජනතාව මිරිකා දේපල හා ඉඩම් සඳහා වූ හොංකොං ආකෘතිය අනුකරණය නොකරන ලෙසට චීන කොමියුනිස්ට් පක්ෂයට අනතුරු අඟවමින් 2018 දී ෂෙන්සෙන් කැළඹීමක් ඇතිකළේය. මෙම පළ කිරීම තුළ පක්ෂයේ ඉහළ අය අතර සිටින ඔහුගේ පාඨකයින් ගැන ද විශේෂයෙන් සඳහන් කර තිබේ. වෙළඳපොලට උමතුලෙස ක්‍රියාත්මකවීමට ඉඩ හැරීම බරපතල සමාජ ගැටුමකට තුඩු දෙනු ඇතැයි ෂෙන්සෙන් බිය විය; උකස් ගෙවීමට මධ්‍යම පාන්තිකයෙකු වහලෙකු සේ වැඩකිරීම, සාමාන්‍ය බටහිර වැසියෙකු භුක්ති විඳින තත්වයන්ට වඩා නරක ලෙස සාපේක්ෂව ධනවතුන් ජීවත් වීම; හොංකොං වල කූඩු නිවාස හා ගුහා වැනි නිරයේ නිවාසවල ජීවත් වන බොහෝ මිනිසුන් පිළිබඳව ෂෙන්සෙන් භීතිය පලකළේය. මෙම වර්ධනයන්හි ජන විකාශනය පිළිබඳ ඇඟවීම් ද ඔහු කතා කළේය.

පවුල් සැකැස්ම සහ චීන කොමියුනිස්ට් පක්ෂය – නමුත් මේ සියල්ල කිරීමේ අරමුණ කුමක්ද? කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කළ යුත්තේ ඇයි? කාර්මිකකරණය සහ ප්‍රමුඛ තාක්‍ෂණික දැවැන්තයෙකු බවට පත්වීම, අවසානයේ අවශ්‍යවනුයේ වඩා හොඳ පවුල් සැකැස්මක් ගොඩනැගීම සඳහා පහසුකම් සැලසීම සඳහා ය. මූල්‍යකරණයේ අවමානුෂිකරණයෙන් පුරවැසියන් ඈත් කිරීම සඳහා ය.

පසුගිය මාස කිහිපය තුළ චීනයේ සිදු වූ සිදුවීම් කෙරෙහි කිසියම් අවධානයක් යොමු කළ අයට චීනයේ ඩොලර් බිලියන 100 ක අධ්‍යාපන තාක්‍ෂණ අංශය නැවත සකස් කිරීම සඳහා ළමුන්ගේ සීමාවන් ඉවත් කිරීම චීන කොමියුනිස්ට් පක්ෂය කාර්මික පක්ෂයට සවන් දෙන බවට තවත් උදාහරණ වේ. චීන දෙමව්පියන්ගෙන් 40% ක් තම ආදායමෙන් 25-30% ක් අධ්‍යාපනය සඳහා වැය කරන අතර, මෙය දරුවන් වැඩි කිරීම දිරිමත් කිරීමේ බාධාවක් ලෙස චීන කොමියුනිස්ට් පක්ෂය නිවැරදිව දකී. කුලී ගෙවා සිටි පවුල්වලට ඇති පීඩනය අවම කිරීම සඳහා පොදු නිවාස මිලියන ගණනක් ඉදි කෙරෙමින් තිබේ.

 චීනය විශාල අභියෝගයන්ට මුහුණ දෙන බවට සැකයක් නැති නමුත් එහි විවේචකයින් චීනයේ ශක්තීන් අවතක්සේරු කිරීමට නැඹුරු වෙයි. මා දකින හැටියට ප්‍රධානතම කාරණය වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ විස්මිත අනුවර්තනය වීමේ හැකියාවයි. චීන කොමියුනිස්ට් පක්ෂයට දුෂ්කර තත්වයන්ගෙන් ගැලවීමේ හොඳ වාර්තාවක් තිබේ: 1992 දී නැවත ප්‍රතිසංස්කරණ ආරම්භ කළ පසු, 1997 මූල්‍ය අර්බුදයෙන් පසුව සහ නැවතත් 2008. පසුගිය වසරේ කොවිඩ් -19 හදිසි ව්‍යාප්තියට පසු එම වාර්තාව වඩාත් දර්ශනීය ලෙස තහවුරු කරන ලදී. නව අදහස් වලට අනුවර්තනය වීමේ හැකියාව සහ විවෘතභාවය නිසා චීන කොමියුනිස්ට් පක්ෂයේ හොඳම සැළැසුම්වලට ප්‍රති තර්කයක් ගොඩනගන මැසේජ් බෝඩ් න්‍යායාචාර්යවරුන් සිටිය හැකි බව චීන කොමියුනිස්ට් පක්ෂයට අවබෝධ කර ගැනීමට සහ පිළිගැනීමට හැකි වී තිබේ. මේ වන විටත් චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ඒවා නව අදහස්වල තීක්ෂ්ණ බුද්ධිමය ප්‍රභවයන් ලෙස පිළිගෙන තිබේ.

(රතීන්ද්‍ර කුරුවිට: සම්මානලාභී මාධ්‍යවේදී, ඔහුගේ පර්යේෂණ අංශ තුළ ජාතික ආරක්ෂාව, චීනය සහ තාක්‍ෂණය ඇතුළත් වේ; හවායි ඊස්ට්-වෙස්ට් සෙන්ටර් සාමාජික, 2010, ඒෂියා පැසිෆික් සෙන්ටර් ෆෝ සෙකියුරිටි ස්ටඩීස්  2018; එක්සත් ජනපදය, 2016 ජාත්‍යන්තර අමුත්තන්ගේ නායකත්ව වැඩසටහනට සහභාගී වීම, සිංගප්පූරුවේ නැන්යාන්ග් තාක්‍ෂණික විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අධ්‍යනය පිළිබඳ එම්එස්සී උපාධියක් ලබා තිබේ; ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ සම්පත්දායක, ශ්‍රී ලංකාව) 

– newswire.lk/2021/08/08/factum-perspectives-cpc-the-industrial-party-the-benefits-of-listening-to-internet-trolls-head/